Tuesday, December 3, 2013

හත් මුහුදින් එපිට ගුගුරුවා


හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දී
සුද්දො ආවෙ රට කරන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

ඇත් දත් ගම්මිරිස් කුරුඳු
මැණික් අරන් එතෙර යන්න
ලක් මවුනගෙ දරු පැටවුන්
වහල් කමේ තියාගන්න
වැව් බිඳ රන්කොත බිම ලා //
දා ගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

යෝධ කඳු වළලු වටලා
වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා
එතෙර එදේශෙට යවන්න
ඉර නොබහින පොළොව වටේ //
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

සත්තු වගේ මඩ කා ගෙන
දිව කා ගෙන බර අදින්න
උත්තම අදිරාජ්ජෙකට
ජීවත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා //
පය පාමුල වාල් වෙන්න
මහත්වරුනි දන්නවාද
සුද්දො ආවෙ රට කරන්න
සුද්දො ආවෙ රට කරන්න

හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දී
සුද්දො ආවෙ රට කරන්න
මහත්වරුනි පේනවාද
අදත් එනවා රට කරන්න
අදත් එනවා රට කරන්න

ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: