Sunday, September 25, 2016

සඳ එළියත් දඟකාරයි

සඳ එළියත් දඟකාරයි
උණ පඳුරෙ වෙලි වෙලී
මනමාලකම් කරයි
කීවා නාහන නුඹෙ සුවඳ ඇවිත්
මට රිදවන රැයේ
පිල්කඩ උඩ තනිවී
මම තරු ඇහිඳිනවා
මූදු හතක් එහා ඉඳන්
නුඹ ඩිනාර් ගණිනවා

බෝඹු ඉපල් රටා වැටුණු ගෙමිදුල පාළුයි
ගේකුරුළු පැටව් ඉගිල ගියා පෑල දොරකඩින්
නුඹ එවන පාට තොරොම්බෝල
ගොම මැටි බිමට හරි බරයි
තනිකම් කරුවල මැද
සිල් පද බිඳී බිම වැටෙයි

කාසි පනම් නැති ලෙන්ගතුකම් කුමට සකී
නුඹ ලියා එවපු එකම කවිය කියා ගනු බැරී
අත පුරා පොදි බැඳන් කහවණු
නුඹ ගම රට වඩින දොහේ
ඉන්නම් එන පෙරමග
මගෙ තුන් හිත වහන් කරන්

සඳ එළියත් දඟකාරයි
උණ පඳුරෙ වෙලි වෙලී
මනමාලකම් කරයි
කීවා නාහන නුඹෙ සුවඳ ඇවිත්
මට රිදවන රැයේ
පිල්කඩ උඩ තනිවී
මම තරු ඇහිඳිනවා
මූදු හතක් එහා ඉඳන්
නුඹ ඩිනාර් ගණිනවා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - සුනිල් දයානන්ද කෝනාර
තනුව - සුනිල් දයානන්ද කෝනාර

No comments: