ලෝකය බිහි වුණ දා සිට දුක සැප එක ලෙසට මැවේ
ජීවිතයෙහි සැපත විපත කාටත් පොදු දෙයකි ලොවේ
යස ඉසුරෙන් රජ සැප විඳ සමහර අය කල් ගෙවන්නෙ
කුසගින්නෙන් අගුපිල්වල ඇතැමුන් ජර දුක් විඳින්නෙ
මේ ලෝකය දෙව් විමනෙකි සැප සම්පත් තිබෙන අයට
අසරණයට හැම දවසෙම එය මහ නිරයක් මිහි පිට
ධනපතියට මුළු ජීවිතයම එක ලෙස කෙළිමඬලකි
කන්න බොන්න නැති මිනිහට කෙළවර නැති මහ සටනකි
මිදුන් පිනෙන් ජාති ජාති සැප සම්පත් ලැබෙයි හැමට
මේ ලෝකය රඟහලක්ය මිනිස් දිවිය නාටකයෙකි
මිනිසා යනු කලින් කලට එහි රඟ දක්වන නළුවෙකි.
සුරතල් කර නළවන කිරිකැටි බිළිඳකි මව් උකුලේ
සෙල්ලමටයි හිත ඇදෙන්නෙ ඔහු පාසල් යන කාලේ
තුරුණු වියේ රස විඳ විඳ පෙම් ගී ගයමින් නටන්නෙ
ටික කලකදි එය රිසි නැත මහලු වයස ළඟාවෙන්නෙ
දත් වැටුණා කෙස් පැහුණා හැරමිටි වාරුව ගමනට
මෙදුන් පිනෙන් ජාති ජාති සැප සම්පත් ලැබෙයි හැමට
තියෙන තැනටමය කවදත් කාගෙත් සැලකිලි ලැබෙන්නෙ
මිනිසුන්මයි අපේ සමාජය නොමගට යොමු කරන්නෙ
සුදුසුකමට මඟ ඇහිරෙයි යුතුකම බලයට යටවෙයි
මිනිහගෙ සුසිරිත් ගුණදම් දවසින් දවසට පිරිහෙයි
සාමය හා සමගිය ගැන කොයි කවුරුත් කතා කරති
මොහොතින් එය අමතක වී තැන තැන ඇණකොටා ගනිති
මිනිසුන්ගේ විෂම ගතිය හින්දයි ලොව පිරිහෙන්නේ
මොන කරුමෙද නොදනිමි මිනිහට මේ බව නොපෙනෙන්නේ
උදේ හවස කරන කියන වැඩ කටයුතු සඵල වේවා
මරණෙන් මතු අජරාමර නිවන් සුවය අත්වේවා
ගායනය - මාලිනී සුරවීර සමග සහාය ගායක
පද - සිරිසේන විමලවීර
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
1959 දී තිරගතවූ "මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.
මේ චිත්‍රපටියේ ගී එකක්වත් තැටියට නැඟුනේ නැත.
යම් පමණකට සුරැකුණු සිනමා සේයා පටයෙන් උකහා ගෙන සංරක්ෂණය කර ඇති ගීය අද අපට ශ්‍රවණට ඇත්තේ.
ඉහත විරිඳු ගායනය ඇතුළත් සේයා පටය කෑඩී ගොස් නැවත පුරුද්දා ඇති බව පෙනේ.
එසේ කළ පිරිද්දීම වැරදි ලෙස කර ඇති හෙයින් ඒ වැරදි සේයා පටයේ ගීතය ඇසෙන අයුරින් ගෙන ඇතැමෙක් මේ ගීයේ අකුරු කර ඇත.
මා මෙහි ගීතය පැවති ආකාරයට පද දක්වා ඇත.
මහැදුරු සුනිල් ආරියරත්නයන් වෙතින් සම්පාධිත "සිංහල චිත්‍රපට ගීතාවලිය" 1957-1961 වෙළුමේ 198 වැනි පිටුවේ ගී පද පෙළ ගස්වා ඇත්තේ අර මා පෙර සඳහන් කළ වැරදි ලෙස පූට්ටු කළ සේයා පටයට අනුවය.
(එම පිටුවේ පින්තූරයක් මෙහි රුවා ඇත්තේ මේ වෙච්ච පටලැවිල්ල තේරුම් ගැනීමටය)
No comments:
Post a Comment