සිංහල චිත්‍රපටි ගීත

Monday, April 12, 2021

සූර්ය මංගල්‍යයේ ගී 2

සූර්ය මංගල්‍යයේ ගී 1  හා සබැඳියි.

ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා පවසන අන්දමට, මාස් කන්නයේ වී අස්වනු නෙළාගත් පසු අක්යාල දෙවියන්ට පුදා කිරි ඉතිරුම් මංගල්ල පවත්වන තුරු තෙල් වළන් ලිප තැබීම තහංචිය. මේ ජනසම්මත සිරිත් මෙලෙස සිදුවන්නේ ගොයම් යාය පූදින විට ගංකරයේ මහගමරාල උන්දෑ හා විදානේ උන්දෑ භාරහාර වන බැවිනි. ඒ යාය රෝග උවදුරුවලින් බේරාදෙන ලෙස දෙවියන්ගෙන් කරන කන්නලව් කිරීම් හා පඬුරු බැඳීම් මගිනි. මේ භාර නිදහස් වන්නේ අලුත් සහල් මංගල්ලය වන කිරි ඉතිරැම් මංගල්ලය නිසි ලෙස පැවැත්වීමතක් සමඟය. එතැන් සිට තෙල්වළන් ලිපි තබා තමුනට රිසි ලෙස අලුත් සහල් පිටි කොටා කැවිලි තනා ගැනීමට අවසර ලැබේ. එහෙත්, සිංහල අලුත් අවුරුද්ද උදෙසා කැවිලි තැනීමට නම් විශාල වශයෙන් එම කටයුතු සිදුකළ යුතුය. එයට හිරු දෙවියන්ගෙන් අවසර ලබාගත යුතුය. මන්ද යත් තෙල් වළන් ළිප තබන නැකත් සිරිත් නිසියාකාරව ඉටු කිරීමෙන් පසුව ඕනෑ හැටියට ගංකරයේ ඇත්තන්ට කැවිලි වර්ග තනා ගැනීමේ ජනසම්මත අවසරය හිමි වේ.

දැන් නම් මේ චාරිත්‍රය ගිලිහිලාම ගොස්ය. ගමේ තවමත් කැවිලි හදන්නට තෙල් වළං ලිප තැබුවත්, ඒ පහසු වෙලාවක මිස නැකතකට චාරිත්‍රයකට අනුකූලව නොවේ. මහින්ද කුමාර දළුපොත මහතාගේ "පරණ පොතේ අවුරුදු සිරිත්" ලිපිය කියවන්න.

අපේ අම්මලා අත්තම්මලා නම් මේ චාරිත්‍රය කළ අන්දම අපට මතකය. ඒ මතක එක්ක පෑහෙන ගීයක් මේ.

කුන්ද හට්ටි ටික ළඟට අරං

කුන්ද හට්ටි ටික ළඟට අරං

කොන්ද නමාගෙන මන්ද බොලං
කුන්ද කුදං කුදු
නැන්දෙ ඉතින්
කොන්ද තවන්නට වෙයිද බොලං

සිංහල අවුරුදු ළඟ එනවා
නැන්දම්මේ

මේ පනිමුද?
(ළමෝ තුටින් කෙළින සිනා හඬ)
ඇල්ලුවා

කුල්ලක් හුළඟේ
හාල් පොලන්නා
වංගෙඩියක් ළඟ
මෝල් නටන්නා

කුරහන් ගල වට පිටි ඇඹරෙන්නා
ලිප් ගල් බිම මැටියෙන් හැඩවෙන්නා

කැවිලි හදන්නට අපි දන්නැතුවා
නැන්දම්මේ

අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා
ආ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න
මම කරන්නම් ඕක
(ළමෝ තුටින් කෙළින සිනා හඬ)
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා
කුකුළ කපල වැට මුල්ලේ
වැරදියි වැරදියි

පුංචි කොකිස් මල් තෙලේ පිපෙන්නා
කොණ්ඩ කැවුම් පොඩි ඔමරි කරන්නා

බලන් ඉන්න බැරි අය නලියන්නා
හැන්ද උලුක් කර
හැන්ද උලුක් කර නැන්ද රවන්නා

කැවිලි ගණින්නට නෑගම් එන්නම්
අවුරුද්දේ

කුන්ද හට්ටි ටික ළඟට අරං

කොන්ද නමාගෙන මන්ද බොලං
කුන්ද කුදං කුදු
නැන්දෙ ඉතින්
කොන්ද තවන්නට වෙයිද බොලං

සිංහල අවුරුදු ළඟ එනවා
නැන්දම්මේ

ගායනය - රන්වල ළමා බලකාය
පද - සිසිර දිසානායක
නාද රටා සැකැසුම - ප්‍රදීප් මුතුකුඩආරච්චි


මේ ගීයේ වීඩියෝවක් (පූර්ණ අයිතිය "රන්වල බලකාය" සතුයි.)



කුණුමුත්තා පිදීම

පරණ අවුරුද්ද උදාවට පෙර සිදුකළ යුතු සිරිතක් ලෙස ඇතැම් පළාත්වල කුණුමුත්තා පිදීම සිදු වේ. කුණුමුත්තා පිදීම පරණ අවුරුදු දිනයේ දී සිදුකරන අවසන් සිරිත ලෙස ද සැලකේ. එයට පූර්වයෙන් අනෙකුත් අවශ්‍යතා සියල්ල සූදානම් කර ගනී. ගෙවිලිය කුස්සියාලත්ත සහමුලින්ම ඉලපතකින් අතු ගා එහි රැස්වී තිබෙන සියලුම කුණුරොඩු මලු පිටතට හෝ අබලන් වූ කුල්ලකට හෝ දා ගනී. ඉනික්බිතිව ලිප්බොක්කේ තිබෙන සියලු ගිනි අඟුරැ ගෙයි පිළිකන්නේ ලිප් බැඳ එයට ගෙන යයි. එලෙස ගිනි අඟුරු ලබාගත් පසුව ඉතිරි වන අළු හා වෙනත් රොඩු දූවිලි සියල්ලම අළු පත්තෙන් අතු ගා කලින් කුණු රැස්කරගත් මෙවලමටම දමා ගනී. මේ කටයුතු අවසන් වූ විට ගෙවිලිය අවුරුදු කෑමට පිසගත් කොණ්ඩ කැවුමක් දෙකක්, අතිරහ හෝ වෙනත් තෙලෙන් බැදගත් මුං කැවුම් වැනි කැවිලි විශේෂයකින් කීපයක් සමඟ ඉදුණු කෙසෙල් ගෙඩියක් ඉවතලන අළු දූවිලි ගොඩ මතින් තබයි. මහින්ද කුමාර දළුපොත මහතාගේ "පරණ පොතේ අවුරුදු සිරිත්" ලිපිය කියවන්න.

රන්වල බලකායේ මේ ගායනය අහන්න. නරඹන්න.

මුත්ත ඇවිත්

 ඒ එඑ... ඒ ඒ එඑ... ඕ ඕ ඔඔ.. ඕ හෝ ඔඔ...
ඕ ඕ ඕ... ඕ ඕ ඕ... ඔහො ඔඔ ඕ හෝ....

මුත්ත ඇවිත් මේ කුස්සියෙ කුණු ඉල්ලන් (හෝහ්
නැකත හොඳයි මේ කෝඳුරු කැවුම තනන්ටා
රහයි බොලන්නේ අවුරුදු උදා දැනෙයි (ආං....
රබන් ඇහෙන්නේ අමතක පද පලපන් (ඩෝං

ඒ ඒ එඒ... ඒ ඒ එඒ... ඕ ඕ ඕ.. ඕ හෝ ඕ...
ඕ ඕ ඕ... ඒ ඒ ඒ... හ්ම් ම්.. හ්ම් ම්.......

මල් පිපේ එරබදු කොවුලන් කොහෝ හඬ
කෝණම කෝණම කෝණම මංගල්ලේ
ඕ... ඒ එඒ..

යුුතුකම් ලෙසින් යන එන නෑයන් ගෙවල් වල
කෝණම කෝණම කෝණම මංගල්ලේ
ඕ... ඒ එඒ..

කටින් පිඹින්නේ උණ කොට කඳ පුපුරන් (දඩෝං...
ගුණ්ඩු පනින්නේ තරඟෙට ඇච්චො වරෙන් (ආ...
ක්‍රාන්ති වෙන්නේ වැඩපල අතඇරපං (ඔඕ...
නැකැත් බලන්නේ අවුරුදු කන්නයි නැන්දේ

ගායනය - ප්‍රදීප් මුතුකුඩආරච්චි, දිළුම් නිරංගරන්වල බලකාය සමග
පද - මහින්ද කුමාර දළුපොත
සංගීත අදියුරු - සහන් රන්වල 
ගොයම් කවි, උඩැක්කි ඕසය හා ඊශ්වර සව්දමේ නාද මාලා ඇසුරෙන්


මුත්ත ඇවිත් ගීයේ වීඩියෝව - රන්වල බලකාය (පූර්ණ අයිතිය "රන්වල බලකාය" සතුයි.)


රැකියා කරන්නට නිවසින් බැහැරව ඈත එපිට ගිය ඇත්තෝ බොහෝ විට ගම ට එන්නේ නොනගතේ ලබන්නට ළංව තිබියදීය. ඇතැම් රාජකාරි වල නියැලෙන අයට එහෙමවත් එන්නට නිවාඩු නැත. 

රන්වල බලකායත් එක්ක එකතුවෙලා සමවැදෙන්න මේ ගීය .....

එරබදුත් පිපී තුරු මත

එරබදුත් පිපී තුරු මත 

ලස්සනයි බැලූ බැලු අත 

එරබදුත් පිපී තුරු මත 
ලස්සනයි බැලූ බැලු අත

අම්මලා උදේ ඉඳලම පාර බලනවා 
අයියගේ හිනා හඬ ළඟ ළඟම ඇහෙනවා 
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගම පුරා අළුත් අවුරුදු අසිරි මැවෙනවා

ගෙන්දගම් පොළොව මඟහැර මං ඉතින් කොහොම එන්නද
ගම් දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ 
කෙළිදෙලෙන් ගෙවූ කාලය පුංචි සංදියේ 
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ

ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී 
නංගියේ හීනෙන් වගේ මට 
ඇහෙනවා ඔන්චිලි කවී

එරබදුත් පිපී තුරු මත 

ලස්සනයි බැලූ බැලු අත 

එරබදුත් පිපී තුරු මත 
ලස්සනයි බැලූ බැලු අත

අම්මලා උදේ ඉඳලම පාර බලනවා 
අයියගේ හිනා හඬ ළඟ ළඟම ඇසෙනවා 
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගම පුරා අළුත් අවුරුදු අසිරි මැවෙනවා

ගෙන්දගම් පොළොව මඟහැර මං ඉතින් කොහොම එන්නද
ගම් දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ 
කෙළිදෙලෙන් ගෙවූ කාලය පුංචි සංදියේ 
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ

ඔබ නැතොත් අවුරුද්ද දවසට 
මොටද අපි කිරිබත් උයා 
එවනු මැන කිරිබත් සුවඳ මට 
සුළං රැල්ලක දවටලා

එරබදුත් පිපී තුරු මත 

ලස්සනයි බැලූ බැලු අත 

එරබදුත් පිපී තුරු මත 
ලස්සනයි බැලූ බැලු අත

අම්මලා උදේ ඉඳලම පාර බලනවා 
අයියගේ හිනා හඬ ළඟ ළඟම ඇහෙනවා 
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගම පුරා අළුත් අවුරුදු අසිරි මැවෙනවා

ගෙන්දගම් පොළොව මඟහැර මං ඉතින් කොහොම එන්නද
ගම් දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ 
කෙළිදෙලෙන් ගෙවූ කාලය පුංචි සංදියේ 
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ

ගායනය - ප්‍රදීප් මුතුකුඩආරච්චි, ශිරානි වික්‍රමසිංහ එක්ව රන්වල බලකාය
පද - බණ්ඩාර ඇහැලියගොඩ
සංගීත අදියුරු - ජනක හේමන්ත



එරබදුත් පිපී තුරු මත ගීයේ වීඩියෝව - රන්වල බලකාය (පූර්ණ අයිතිය "රන්වල බලකාය" සතුයි.)



අවුරුදු නිවාඩුවට ගම රට ආව අය හාදකම් අළුත් කරගැනීම් ද ඕන තරම්..

සිංහල අවුරුදු ළඟයි වගේ

සිංහල අවුරුදු ළඟයි වගේ
අවුරුදු කන්නට හිතයි නඟේ
නැකතට කිරි උතුරා (ආ.. ආ...
නැකතට කිරි උතුරා

තනිකඩ උදවිය ඇති නිවසේ
නැකත් නැතිලු අවුරුදු දවසේ
සරු නැහැ අපට මහේ
සරු නැහැ අපට මහේ

පෙළවහ ගැන හිත ඇතත් නඟේ
අසරණ අපහට තනියට කවුද නඟේ
දන්නා කියනා උදවියගේ
අසරණ කම ගැන මට දුක හිතෙනු වගේ

නොහොඳ නෝක්කඩු මගෙ නැතුවා
නුඹ ගැන නංගෝ මං ඉඳහිට හිතුවා
ඒ හිත තිබුණොත් තව මතු දා
නෑගම් එනවද සිංහල අවුරුදු දා

සිංහල අවුරුදු ළඟයි වගේ
අවුරුදු කන්නට හිතයි නඟේ
නැකතට කිරි උතුරා (ආ.. ආ...
නැකතට කිරි උතුරා

තනිකඩ උදවිය ඇති නිවසේ
නැකත් නැතිලු අවුරුදු දවසේ
සරු නැහැ අපට මහේ
සරු නැහැ අපට මහේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ විශාරද මාලිනී බුලත්සිංහල
පද - අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක



සිංහල හා හින්දු අවුරුද්ද කියල සමරණ මේ උත්සවේ, කලකට පෙර නම් මෙහෙමත් සංහිඳියා බැඳීම් වැඩුණාලු...

අයියේ අවුරුදු ඇවිල්ල

අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
කළු අශ්වය පිටේ නැගල යන ගමනේ
නොනගතයෙන් කිරි උතුරන සුබ නැකතේ ....//

මේ පොළවට වැඩි උතුම් රටක් තියෙනවා ද
වටිනාකම නොදන්න එක තමයි තියෙන කරුමෙ එකම

අවුරුදු ගණනකට පස්සෙ එකම මේසෙ අවුරුදු කමු
කෙළි සෙල්ලම් එකට කරමු එකම හඬින් ගීත ගයමු

අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
කළු අශ්වය පිටේ නැගල යන ගමනේ
නොනගතයෙන් කිරි උතුරන සුබ නැකතේ

උතුරේ වෙඩි හඬ නැතිවී දකුණේ වෙෙරය නැතිවී
අපේ රටට ශාන්තියක් උදාවෙන්න අපිත් පතමු

එකම බිමක එකට හිඳිමු මනුස්සයෝ අපි උත්තම
අවුරුද්දට මේ තැන් වල නෑගම් යමු අපි ඔක්කොම

අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
කළු අශ්වය පිටේ නැගල යන ගමනේ
නොනගතයෙන් කිරි උතුරන සුබ නැකතේ
අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල
අයියේ අවුරුදු ඇවිල්ල
මල්ලියෙ අවුරුදු ඇවිල්ල

ගායනය - රෝහණ බෝගොඩ සහ සුනිල් අමරසේන
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න



නෑණා මස්සිනාලගෙ හාදකමුත් අවුරුදු කාලෙට අළුත් වෙනවා බෝමයි.

මී බී මත්වුණු කොවිළිඳු


මී බී මත්වුණු කොවිළිඳු සඳට පෙම් බඳින්නේ
එරබදු ගහ රත තවරා
හිතට ඉඟි කරන්නේ ...//
අවුරුද්දට ගම් පැත්තේ
එන්න කියන්නේ

සතු නෑණ වෙත නෑදෑකම්
හරස්ව නැඟ එන්නේ
ගමේ අපට නෑකම් මිස
කුමක් වටින්නේ

අවුරුද්දට ගම් පැත්තේ
එන්න කියන්නේ

මී බී මත්වුණු කොවිළිඳු සඳට පෙම් බඳින්නේ
එරබදු ගහ රත තවරා
හිතට ඉඟි කරන්නේ
අවුරුද්දට ගම් පැත්තේ
එන්න කියන්නේ

ගහ කොළ මල් හිනැහීලා
තොරණ සදා දෙන්නේ
නෑණන්ඩිට මස්සිනාම තමා වටින්නේ

අවුරුද්දට ගම් පැත්තේ
එන්න කියන්නේ

මී බී මත්වුණු කොවිළිඳු සඳට පෙම් බඳින්නේ
එරබදු ගහ රත තවරා
හිතට ඉඟි කරන්නේ
අවුරුද්දට ගම් පැත්තේ
එන්න කියන්නේ

ගායනය - කෝලිත භානු දිසානායක සමග නිර්මලා රණතුංග
පද - සුනිල් ගුණවර්ධන



ඉතින් ඔය විදියට එකතුවීම් හාදකම් එක්ක, තිබුණා නම් යම් නෝක්කාඩුවක් අරෝවක් අමනාපයක්, ඒ බොහොමයක් සමනය වෙලා, තරහ මරහ දුරුවෙලා, වසන්තයේ ගමේ සුවඳට, සිත් සුවඳත් මුහු වෙනවා. එළඹෙන්නෙ නොනගතය.




නොනගතය ඇරඹෙන්න කලින් කා බී සියළු වැඩ අත්හැරීම යි චාරිත්‍රය. මොකද්ද මේ නොනගතේ කියන එක ගැන චිත්‍රයෙන් අදහසක් ගත හැකියි. ගත කාලය නොනගතය (නො ගත - ගිහිල්ලත් නෑ නොගිහිල්ලත් නෑ - කොටසක් තවම මීනයේ; කොටසක් මේෂයේ) එතකොට අවුරුදු උදාව කියල ගන්නෙ ඔය මධ්‍ය පිහිටීමට පැමිණීමයි. (නක්ෂත්‍රය පාඩමක් නොවේ.)

නොනගතය වෙලාවෙ වෙච්ච මේ සංගෙඩි බලන්නකෝ - රන්වල බලකාය

නොනගතේ ආදරේ (හුදු විනෝදාස්වාදයටයි)

ඒයි, ඔයැයි මොකද ඔතන කරන්නෙ? (හහ් හහ් හහ් හ්හ්
අපෙ අම්ම කියල තියෙන්නෙ පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියලනෙ බං
ඒකයි මං මෙහෙන් යන්නෙ.
අපි යං නේ (යං යං
මේ.. ඒක තමයි මේ... නොනගතේ වෙලාවට ගියාට කමක් නැතුවයි..?
කමක් නෑ. කමක් නෑ. යං යං යං
යමන් බං වරෙන්. කාරි නෑ

අවුරුදු සිරිත් සේ මා
ආලවන්ත නෑනා
නැන්දෙ මට ඕනා ඕනා
පුවාලු කැන ඉරි කහ පාටට ඉදුණා

කැකිරි වයසෙ මීමා
කැලෙන් පැන්න සේමා
මාමෙ මට ඕනා ඕනා 
පැණි සිරි කැවුමට කෙළ හළමින් උන්නා

අවුරුදු දවසෙම (ඕ..ව්
මේ හොර කුකුළා (තිත්ත කැකිරි නැද්ද නාඹර
නොනගතේම කජු (අහුලල)
පුහුලන් ගෙන වල් ඌරා
මඩ අනනා ලෙසට නෙවෙයි
මයෙ පැඟිරි පුතා

අවුරුදු නැකතට
වැඩ අල්ලාලා
උඹලා සේ
මඩ ඇරගන් (ලෝලි ලෝලි බාලොලි
(වල් ඌරු)
යාළු නෑදැකම් පුරමූ
මගෙ හීන් පුතා

අවුරුදු සිරිත් සේ මා
ආලවන්ත නෑනා
නැන්දෙ මට ඕනා ඕනා
පුවාලු කැන සිරි කහ පාටට ඉදුණා

කැකිරි වයසෙ මීමා
කැලෙන් පැන්න සේමා
මාමෙ මට ඕනා ඕනා 
පැණි පිරි කැවුමට කෙළ හළමින් උන්නා

ගායනය - සහන් රන්වල, සංගීත් කළුබෝවිල, චතුරි සුදේශිකා
පද - ගීත් තරංග
සංගීත අදියුරු - සහන් රන්වල
පන්තේරු ගායනා, ඔංචිලි වාරම් හා උකුසා වන්නමේ නාද මාලා ඇසුරෙන්



අවුරුදු කුමරා එන්නයි යන්නේ


මීන රාශියෙන් මේෂ රාශියට
කෝණෙම් කෝණෙම් නැකැත් කියනවා කෝණෙම් //

නොනගත කාලය ගෙවලා නව අවුරුදු ගෙවදිනවා
රබාන වටකර තාල වයනවා
අත්පොලසන් දී
අත්පොලසන් දී සතුට කියනවා

අවුරුදු කුමරා එන්නයි යන්නේ
අවුරුදු නැකතයි
මේ එළඹෙන්නේ .....//

ගායනය - රන්වල බලකාය
පද - මහින්ද කුමාර දළුපොත
සංගීත අදියුරු - සහන් රන්වල




පුණ්‍ය කාලය - අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා අපර භාග 08.09 සිට 14 වන බදාදා පූභා. 08.57 දක්වා


වුරුද්දක් වැඩකර
අවුරද්දට කලියෙන්
හුස්මක් කටක් ගන්න මෙන්න වෙලාවයි
නොනගතේ උදාවයි
මෙන්න වෙලාවයි
නොනගතේ උදාවයි

අවුරුදු උදාවට ටික ටික ළං වෙද්දී
වැඩ අත්හරිනවා එකවිට පෙර පරිදී

ලිප නිවලා
කට රැකලා
පවුල් පිටින් පන්සල් යන
සංක්‍රාන්ති සමයයි
පන්සල් යන
මේ පුණ්‍ය කාලයයි

ගායනය - රන්වල බලකාය
පද - සහන් රන්වල
සංගීත අදියුරු - සහන් රන්වල



ලිප ගිණි මෙලවීම - අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 06.17 ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

අවුරුදු දොහේ බඩ කට පිරේ
මුළු පවුලම එකතුවෙලා
නැවුම් ලිපක් සාදාලා
ගිණි මොලවන සුබ නැකත උදාවේ

අවුරුදු දොහේ බඩ කට පිරේ
මුළු පවුලම එකතුවෙලා
නැවුම් ලිපක් සාදාලා
ගිණි මොලවන සුබ නැකත උදාවේ

සුබ ම දිසාවට කිරි උතුරාලා
හිතේ සතුට උතුරා යන්නා
හිතේ සතුට උතුරා යන්නා

හොඳයි නැකත හිංගල අවුරුද්දේ
ඔන්න එනව ගුරු දෙවි වැඳපන්නේ
නැවුම් බතක් ගම සුවඳ කරන්නේ
රබන් සුරල් පද ඕං ඇහෙන්නේ

ගායනය - රන්වල බලකාය
පද - ජයතිස්ස බොරළුගොඩ
සංගීත අදියුරු - සහන් රන්වල



නුභවය හා වැඩ ඇල්ලීම - අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 07.41 ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

එකසේ සිව් දෙස
නැකතේ අනුභව
ගනුදෙනු වැඩ අල්ලා
හිතත් ගතත් අපෙ බෝ බලවත්
රටත් දැයත් ලෙස වූ පවුලක්

ගත් සේ රිසි නොව
විසිවේ ගමු දෙමු
කමු බොමු වැඩ අල්ලන්
උදක් හඬන අපි
හෙළයෝ
රකියි බලයි හිරු
දෙවියෝ

මේ අවුරද්දේ 
මිදෙන්න විරසක
ලැබෙන්න අතමිට
ගෙතෙන්න හොඳ වැඩ
ලැබෙන්නෙ සවි බල

මේ අවුරද්දේ 
කිරෙන්ම ඉතිරී
රනින් ම බැබලී
රුවෙන් ම වැජඹී
වැඩෙන්න ජය ශ්‍රී

ගායනය - රන්වල බලකාය
පද - නුවන් කුමාර කටුගම්පල
සංගීත අදියුරු - සහන් රන්වල



ඊළඟ අඩුක්කුව සූදානම් කරනකන්.... අවසරයි පොඩි විරාමයකට. එනවා ඉක්මනට. 

No comments:

Post a Comment