දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් ලෙස කියැවෙන මේ ලක්දිවේ ඉතිහාසය බොහෝම අවුල් වලින් පිරිච්ච එකක් කියලයි පුංචි සන්දියේ ඉඳලම මට නම් හැඟෙන්න ගත්තෙ.
ඒකට ප්‍රධාන හේතුව හැටියට මට තේරෙන්නෙ,
1. වාර්තා කරුවන් පරම සත්‍යය යට ගසා ඔවුනගේ සිතිවිලි සත්‍යය ලෙස සපථ කරන්නට ගෙනහැර ඈඳූ ප්‍රලාප, ආටෝප හා ඇස්බැන්දුම්.
2. යථාර්ථයට අනුගත නොවී මහා වංශයක ස්වප්න මත ආරූඪ කරගත් උද්දච්ඡකම.
අපේ ඉතිහාසය ගැන හෙළි කරන 'මහාවංශය' තුළ ගෙනහැර පාන තොරතුරු වල කාලවකවානු ඉතා සූක්ෂ්මව ඈදා තිබීම ඒ ගෙන ආ තොරතුරු පරම සත්‍යය ලෙස පිළිගන්නට පෙළඹෙව්වා කියලයි මට හැඟෙන්නෙ.
යමක් ඇත්ත ලෙස ගන්නට මොකක් හරි සත්‍යයකුත් ඈදීම ඈත අතීතයේ සිටම කළ උප්පරවැට්ටි න්‍යායක්.
විජයාවතරණය ගැන ඉතිහාස පාඩමේදී මගේ ගුරු ඩබ්.එස්. බණ්ඩාර ගුරු පියාණන් ඉතිහාසය කරුණු මේ ලෙස දැක්වෙන්නේ යැයි කළ පුවත් එදා සිටම මගේ හිතට පෑහුණේ නෑ.
එදා මට තේරුම් ගියේ මහාවංශය රචනා කළ රචක තෙරුන් හට 'මහාවංශ' සිහිනෝන්මාදයක් පවතින්නට ඇති බවයි.
සිංහලයා විජයගෙන් පැවත එන බවත් ගෞතම බුදු රජාණන් වහන්සේගේ කුලයේ ඥාතිත්වයක් ඇති බව කියන්නත් ප්‍රබන්ධ හීනයකට රචක හාමුදුරුවන්ට දැඩි එල්බගත් මානසිකත්වයක් තිබුණා වෙන්නට ඕන බවයි මට දැනෙන්නෙ...
ඔය ගැන විපරම් කරද්දි පහත ලාපිය මට හමුවුණා. ඒක කියවන්න.
මේ එවන එක දකින්නෙ අපි දෙන්නා විතරයි. මෙතන ඇතුළත් කළේ ඔයාට පහසුවෙන් පරිහරණය කරන්න මෙතනදී පුළුවන් නිසා.
......
මහාවංශය ලියූ මහනාම හාමුදුරුවෝ ...
මහාවංසය ලියූ මහානාම හිමියෝ, ධාතුසේන රජු ගේ මාමා ද?
****************************
ලංකාවේ ඇති සුවිශිෂ්ටත ම ඉතිහාස ග්‍රන්ථය විදියට මහාවංසයට හිමි වන්නේ සුවිශේෂී තැනක්. මහාවංසය රචනා කළේ අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙනේ වාසය කළ මහානාම කියන හාමුදුරුවෝ මේ මහාවංසය රචනා කරපු බව දැනට පිළිගෙන තියෙන අදහස. එයිනුත් මහසෙන් රජතුමා දක්වා රචනා වෙලා තිබෙන කොටස පමණ යි මහානාම හාමුදුරුවෝ රචනා කරන්නේ. මහාවංසයේ කතුවරයා මහානාම කියලා හාමුදුරු කෙනෙක් බව මහාවංසයේ සඳහන් වෙන්නෙ නැහැ. ඒක ගැන සඳහන් වෙල තියෙන්නේ වංසත්ථප්පකාසිනිය කියන පොතේ. මහාවංස ටීකාව හැටියටත් ඒ පොත ඇතමුන් හඳුන්වනවා. නමුත් ගැටලුව ඒක නෙවෙයි. මහාවංසය ලියපු මහානාම හාමුදුරුවොත්, ධාතුසේන රජතුමා ගෙ මාමාත් එක් අයකු විදියට යි බොහෝ දෙනෙක් පිළිගන්නේ. ඇත්තට ම ඒ කාරණාව ඇත්ත ද? නමුත් අපේ කියැවීමේ හැටියට නම් ඒක වැරැදි යි. මහානාම හාමුදුරුවොත්, ධාතුසේන රජතුමා ගෙ මාමාත් එක් අයෙක් ම යි කියන්න සාක්ෂි නැහැ.
සංක්ෂිප්ත ලංකා ඉතිහාසය ලියපු කොඩ්රිංටන් පවා ධාතුසේන රජතුමා ගෙ මාමා සහ මහාවංස කර්තෘ මහානාම හාමුදුරුවෝ එක් අයෙක් විදියට විශ්වාස කරපු බව පේනවා. ඒ වගේ ම ජෝර්ජ් ටර්නර් පවා ඒ මතයෙ හිටපු බව, ඔහු ලියලා තියෙන ඇතැම් කාරණා අනුවත් පැහැදිලි වෙනවා. නමුත් මේ මතය පිළිගැනීමට මැලිකමක් දක්වපු අයත් හිටියා. එක්කෙනෙක් තමයි විල්හෙල්ම් ගයිගර්. ගයිගර් කියන විදියට මහානාම හාමුදුරුවොත්, ධාතුසේන රජතුමා ගෙ මාමාත් දෙන්නෙක්. ගයිගර් කියන විදියට, ‘ධාතුසේන රජතුමා පැවිදි වෙලා හිටපු කාලය වෙද්දිත්, එතුමා ගෙ මාමා පැවිදි ව තෙරණ කෙනෙක් විදියට හිටපු නිසා සහ මුගලන් රජතුමා රජ වෙලා මුල් කාලයේ දී සීගිරිය දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම තෙරුන්ට පූජා කිරීම ආදි කාරණා දිහා බැලුව ම, ධාතුසේන හා මුගලන් රජතුමා ගේ රාජ්‍ය කාලය තරම් කාලයක් උන් වහන්සේ ජීවත් වෙලා හිටියා කියල හිතන්න අමාරුයි’ කියන එක යි ගයිගර් ගෙ අදහස.
මේ සම්බන්ධයෙන් කතා කරද්දි බුද්ධගයාවේ තිබිලා හමු වුණු ශිලා ලේඛනයකුත් විශේෂ වැදැගත්කමක් දරනවා. ඒ ලේඛනයේ ලංකාවේ ආචාර්යවරු කීප දෙනෙක් ගෙ ම නම් සඳහන් වෙලා තියෙනවා. ඒ භර, රාහුල, උපසේන, මහානාම, 2 වැනි උපසේන හා 2 වැනි මහානාම ආදි වශයෙන්. මින් පළමු වැනි උපසේන මහානිද්දේස අට්ඨකථාවේ කතුවරයා විය හැකි බවත්, ප්‍රථම මහානාම අපේ කතුවරයා විය හැකි බවත් මහාචාර්ය ගුණපාල මලලසේකර රචනා කළ The Pali Literature of Ceylon කියන පොතේ අදහස් දක්වලා තියෙනවා. නමුත් බුද්ධගයාවෙ තියෙන මේ සෙල් ලිපිය අයත් කාලය මොකක්ද කියන එක සම්බන්ධයෙන් නිශ්චිත මතයක් නැහැ යි කියන කාරණාවත් අමතක කරන්න හොඳ නැහැ. ‘මහාවංසය ලියූ මහානාම හිමිපාණෝ’ කියන නමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන ලිපියක් ලියලා තියෙනවා. ‘බුද්ධගයාවේ විහාරයක් කරවලා, ඒ බව සඳහන් සෙල්ලිපියක් කරවපු මහානාම හාමුදුරුවෝ මහාවංස කතුවරයා බව’ තමයි එතුමා ගෙ අදහස.
සද්ධම්මප්පකාසිනි පොත ලියන්නෙත් මහානාම කියල හාමුදුරු කෙනෙක්. උත්තර මන්ත්‍රී කරවපු පිරිවෙනේ වැඩ වාසය කළ මහානාම කියන හාමුදුරුවෝ මොග්ගල්ලාන රජතුමා ගෙ අභාවයෙන් තුන් වැනි වර්ෂයේ දි මේ පොත කළා කියලා තමා පොතේ අවසානයෙ සඳහන් කරලා තියෙන්නෙ. නමුත් මේ පොතේ සඳහන් වෙලා තියෙන මොග්ගල්ලාන රජතුමා කොයි කාලෙ රජකම් කරපු මොග්ගල්ලාන රජතුමා ද කියලා පැහැදිලි ව අඳුනගන්න බැරි බව යි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ ඇතැම් වියතුන් ගෙ අදහස වෙලා තියෙන්නෙ. මහාචාර්ය සෙනරත් පරණවිතාන කියන විදියට සද්ධම්මප්පකාසිනියෙ කතුවරයාත්, බුද්ධගයාවෙ විහාරයක් කරවන්නෙත්, මහාවංසයේ කතුවරයා ම යි.
මේ මහානාම හාමුදුරුවො කවුද? ධාතුසේන රජතුමාටත් අපි සාච්ඡා කරන මහානාම හාමුදුරුවන්ටත් ඥාති සම්බන්ධතාවයක් තිබුණ ද? ඒක අවධානය යොමු කරන්න ඕනෙ කාරණාවක්.
ධාතුසේන රජතුමා ගෙ මාමා ගෙ නම මහාවංසයෙ සඳහන් වෙන්නෙ නැහැ. මහාවංසයෙ තියෙන්නෙ ධාතුසේන රජතුමා ගෙ මාමා අනුරාධපුර මහාවිහාරයට අයත් දික්සඳ සෙනෙවියා පිරිවෙනේ හිටියා කියල විතර යි. අපිට මේ කාරණාවෙදි මතුවුණු ගැටලුවක් තියෙනවා. මහාවංසය ලියන්නෙ ධාතුසේන රජතුමා ගෙ මාමා නම් උන් වහන්සේ කාරණා කීපයක් නිසා සුවිශේෂී වෙනවා. එකක් තමා මහාවංසය කියන අග්‍රගණ්‍ය ග්‍රන්ථය රචනා කිරීමේ සමාරම්භකයා උන් වහන්සේ, දෙ වැනි කාරණාව තමා ලංකාවෙ රාජ්‍යත්වයට සුදුසු වෙන විදියට කුඩා කාලයෙ ඉඳං ධාතුසේන කුමාරයාට ශික්ෂණයක් ලබා දෙන්නෙත් ධාතුසේන කුමාරය ගෙ පැවිදි මාමා. නමුත් මහාවංසයෙ ධාතුසේන රජතුමා සම්බන්ධ කොටස ලියන්නෙ මහානාම හාමුදුරුවො නෙවෙයි. මහානාම හාමුදුරුවො මහසෙන් රජතුමා ගෙන් තමන් ලියපු කොටස අවසන් කරනවා. ධාතුසේන රජතුමා සම්බන්ධ කොටස ලියන්නෙ 2 වැනි ධම්මකිත්ති හාමුදුරුවෝ බව යි සඳහන් වෙලා තියෙන්නෙ. නමුත් යගිරල පඤ්ඤානන්ද හාමුදුරුවන් ගෙ අදහස, මහාවංසයෙ 37 වැනි පරිච්ඡේදයේ 51 වැනි ගාථාවෙ ඉඳං 79 වැනි පරිච්ඡේදයේ අවසානය දක්වා කොටස පොළොන්නරුවෙ වාසය කළ මෞද්ගල්‍යාන මහ තෙරුන් ලියන්න ඇති කියලා. පඤ්ඤානන්ද හාමුදුරුවන් ගෙ අදහස පිළිගත්තොත්, ධාතුසේන රජතුමා පිළිබඳ ව සඳහන් වෙලා තියෙන කොටස ලියලා තියෙන්නෙ පොළොන්නරු සමයෙ වැඩ වාසය කරපු මෞද්ගල්‍යාන හාමුදුරුවො. ඔය අදහස් දෙකින් මොකක් පිළිගත්තත් අවසානෙට වටහා ගන්න ඕනෙ කාරණාව තමා මහාවංසයේ ධාතුසේන රජතුමා සම්බන්ධ කොටස ලියන්නෙ මහානාම හාමුදුරුවෝ නෙවෙයි කියන එක. කොහොම නමුත් මහාවංසය වගේ අග්‍රගණ්‍ය ග්‍රන්ථයක මුල පිරීම සිදු කරන්නෙ මහානාම හාමුදුරුවෝ. ධාතුසේන කුමාරයා ව රාජ්‍යත්වට ගැලැපෙන විදියට හික්මීමක් සහිත ව ගොඩනඟන්නෙත් ධාතුසේන රජතුමා ගෙ මාමා. ඉන්දියාවේ කෞටිල්‍ය කළා වගේ ම වැඩක් ධාතුසේන රජතුමා ගෙ මාමාත් කරනවා. නමුත් මහාවංසයේ දෙ වැනි කොටස රචනා කරන කතුවරු මහාවංසයේ සමාරම්භක ලේඛකයා ගෙ නම හෝ ධාතුසේන රජතුමා ගේ මාමා ගෙ නම සඳහන් කරන්නෙ නැහැ. මහාවංසයේ මූලාරම්භය ගත් කතුවරයාත්, ධාතුසේන රජතුමා ගෙ මාමාත් එක් කෙනෙක් ම නම්, ඇයි පසු කාලීන කතුවරු මේ කාරණාව සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ? අව ම වශයෙන් ධාතුසේන රජතුමා ගෙ මාමා කවුද කියන එක නාමික වශයෙන් වත් සඳහන් නො කර? මහාවංස කතුවරයාට හා ධාතුසේන රජතුමාට කුමක් හෝ සම්බන්ධතාවයක් පැවැතියා නම් ඒ පිළිබඳ සඳහන් නො කර ඉන්න තරම් පසුකාලීන කතුවරුන්ට හේතුවක් නැති බව යි මගෙ අදහස.
ඒ වගේ ම තමා ධාතුසේන රජතුමා ගෙ මාමා සහ මහාවංස කතුවරයා එක් අයෙක් ම නෙවෙයි කියන්න පුළුවන් ආකාරයේ සාධක මහාවංසයේ අන්තර්ගතය දිහා බැලුව ම තේරුම් ගන්න පුළුවන්. මහාවංසය පළමු කොටස, එහෙමත් නැතිනම් මහසෙන් රජතුමා දක්වා කොටස රචනා කරන්නෙ මහානාම හාමුදුරුවෝ කියන කාරණාව බොහෝ දෙනෙක් දන්න දෙයක්. නමුත් මහසෙන් රජතුමා ගෙ කාලයේ ඉඳන් ධාතුසේන රජතුමා දක්වා ලංකා ඉතිහාසයේ සුවිශේෂී පාලකයෝ කීප දෙනෙක් ම රජකම් කළා. සිරිමේඝවණ්ණ, දෙ වැනි ජෙට්ඨතිස්ස, බුද්ධදාස, 1 වැනි උපතිස්ස, මහානාම, සොත්ථිසේන, ජත්තග්ගාහක, මිත්‍රසේන වගේ රජවරු මහසෙන් රජතුමා ගෙ කාලෙ ඉඳන් ධාතුසේන රජතුමා ගෙ කාලය දක්වා රජකම් කළා. මේ කාලයෙ රජකම් කරපු සමහර රජවරුන් ගෙ කාලවල ලංකාවේ ශාසනික ඉතිහාසයෙත් අතිශය වැදැගත් සිදුවීම් කීපයක් ම වෙලා තියෙනවා. සිරිමේඝවණ්ණ රජතුමා ගෙ කාලයෙ දි මිහිඳු මහ රහතන් වහන්සේ වෙනුවෙන් වාර්ෂික උත්සවයක් ආරම්භ කරනවා. ඒ වගේ ම දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන්නෙත් මේ කාලයේ දි. නමුත් මහානාම හාමුදුරුවෝ මේ කාරණාව ගැන මහාවංසයේ දි කියන්නෙ නැහැ. පසු කාලයෙ මහාවංසය රචනා කරපු ලේඛකයෙක් තමා මේ කාරණාව ගැන ලියලා තියෙන්නෙ. බුද්ධදාස රජතුමා ලංකා ඉතිහාසයේ දකින්න පුළුවන් දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ වගේ ම තමන් ගේ පුතුන් අසූ දෙනාට අසූ මහා ශ්‍රාවකයන් ගෙ නම් තියන්න පවා මේ රජතුමා කටයුතු කරනවා. ලංකාව පුරා රෝහල් පවා ඉදි කිරීමේ ගෞරවය මෙතුමාට හිමි වෙනවා. මහානාම රජතුමා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කරවලා මහා විහාරයට පූජා කරනවා. බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ ලංකාවට වැඩම කරන්නෙත් මේ කාලයේ. නමුත් මහානාම හාමුදුරුවෝ මේ කිසි දෙයක් ගැන නො කියා මහසෙන් රජතුමා ගෙන් තමන් ගෙ පොත අවසන් කරනවා. මහසෙන් රජතුමා ගෙන් පසු ව රජවුණු රජවරු ගැන ලියන්න ඉන් බොහෝ කාලයකට පසු ලේඛකයෙක් ඉදිරිපත් වෙනකම් ම බලාගෙන ඉන්න වෙනවා. ධාතුසේන රජතුමා ගෙ මාමාත්, මහාවංස කතුවරයාත් එක් අයකු නම්, තමන් වාසය කළ කාලයට පෙර ජීවත් වුණු සුවිශේෂී රජවරු ගැන නො සලකා හරින්න මහානාම හාමුදුරුවෝ කටයුතු කරන්නෙ ඇයි? උන් වහන්සේට ඒ රජවරු සම්බන්ධ කරුණු හොයාගන්න බැරි වුණා කියන කාරණාව කියන්න බැහැ. මොකද පොළොන්නරු යුගයෙ හෝ ඊට පසු ලේඛකයෙකුට මේ කාලය සම්බන්ධයෙන් කරුණු හොයාගන්න පුළුවන් වුණා නම්, අනුරාධපුර සමයේ වාසය කළ අයකුට ඊට අවුරුදු සීයකට හමාරකට කලින් සිදු වුණු දේවල් ගැන කරුණු හොයා ගන්න බැරි වුණා කියල කියන්න කොහොමවත් බැහැ.
තවත් කෙනෙකුට අවශ්‍ය නම් තර්කයක් ගේන්න පුළුවන්, ජේතවනාරාමය ඉදිවීමත් සමඟ මහාවිහාරයේ පැවැත්ම සම්බන්ධයෙන් තදබල බලපෑමක් එල්ල වෙන්න පටන් ගත්ත නිසා මහාවංසය මහසෙන් රජතුමා ගෙන් අවසන් කළා කියලා. නමුත් ඒ කාරණාවත් පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. මහාවිහාරයේ පැවැත්මට සැලැකිය යුතු තරමක හානි වෙන්න පටන් ගත්ත නම් පටන් ගත්තෙ අභයගිරිය ඉදි වීමත් සමඟ. නමුත් කාලානුක්‍රමයෙන් ඇතැම් අවස්ථාවල අභයගිරිය බලවත් වෙමින්, තවත් අවස්ථාවල මහාවිහාරය බලවත් වෙමින් ඔය විදියට ලංකාවෙ ශාසන ඉතිහාසය හැඩ ගැසෙමින් පැවැතුනා. අභයගිරිය කළ බලපෑම තරම් බලපෑමක් ජේතවනාරාමය කළ බවක් පේන්න නැහැ. හැරත් මහසෙන් රජතුමා ගෙ කාලයෙ මහාවිහාරයට විරුද්ධ ව එල්ල වුණු බලපෑමේ තියුණු අවස්ථාවක් දකින්න පුළුවන් වුණත්, ඒ කාලයේ දී ම ඒක නැවැත සෑහෙන දුරට යථා තත්ත්වයකට පත් කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මහසෙන් රජතුමා ගෙ කාලයෙ ඉඳන් මහාවිහාරයේ විශාල අවනතියක් සිද්ධ වෙන්න පටන් ගත්තා කියන අනුමානයට අපිට එන්න බැහැ.
ඒ වගේ ම තමා මහාවංසය කියන ග්‍රන්ථය ඇතුළෙ තියෙන කාරණා අනුව පැහැදිලි වෙන තවත් එක කාරණාවක් තමා අභයගිරිය හා ජේතවනාරාමය කියන ආයතන දෙක සම්බන්ධයෙන් එ තරම් පැහැදීමකින් නෙවෙයි මහාවංස කතුවරයා කතා කරන්නෙ. මහාවංසය ලියන්නෙ ධාතුසේන රජතුමා ගෙ මාමා නම් ඒ ඉගැන්වීම් හා ආකල්ප යම් තරමක් දුරට හෝ ධාතුසේන රජතුමා තුළත් පිහිටන්න ඕනෙ. නමුත් මහාවංසය දෙ වැනි කොටසෙ පැහැදිලි ව ම කියල තියෙනවා ධාතුසේන රජතුමා අභයගිරියට හා ජේතවනාරාමයට කළ අනුග්‍රහයන් සම්බන්ධයෙන්. ඒකෙන් පැහැදිලි වෙනවා, මහාවංසයේ කතුවරයා තුළ තිබුණ තරමේ විරෝධාකල්පයක් අභයගිරිය හා ජේතවනාරාමය කියන ආයතන දෙක සම්බන්ධයෙන් ධාතුසේන රජතුමා තුළ තිබුණෙ නැහැ කියන එක. දේශපාලනික උපක්‍රමයක් වශයෙන් හෝ ඔහු ඒ ආයතන සම්බන්ධයෙන් තදබල විරෝධාකල්පයක් ක්‍රියාත්මක කරන්නෙ නැහැ.
අපි කල්පනා කරන්න ඕනෙ කාරණාවක් තියෙනවා. ධාතුසේන රජතුමා ගෙ මාමා සහ මහානාම හාමුදුරුවෝ එක් අයෙක් නම්, ඇයි මහසෙන් රජතුමා ගෙන් තමන් ගෙ ග්‍රන්ථය අවසන් කරන්න මහානාම හාමුදුරුවෝ පෙළඹෙන්නෙ. මහසෙන් - ධාතුසේන කාලය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා නම් උන් වහන්සේට ලාංකේය ශාසන ඉතිහාසය තවත් වැදැගත් කාරණා කීපයක් ම තමන් ගෙ ග්‍රන්ථය තුළ අන්තර්ගත කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් උන් වහන්සේ ඒ කාලය සම්බන්ධයෙන් නිහඬ යි. මේ කාරණා අනුව කල්පනා කරද්දි අපිට එක අනුමානයකට එන්න පුළුවන්. ඒ තමා, බොහෝ විට මහාවංසයේ මුල් කොටස රචනා වෙන්නෙ ධාතුසේන රජතුමා රජවෙන්නත් බොහෝ කාලයකට කලිං වාසය කළ හාමුදුරු නමක් අතින් වෙන්න පුළුවන් කියන එක. උන් වහන්සේ ගේ නම මහානාම විය හැකි යි. අව ම වශයෙන් මහාවංසය ධාතුසේන රජතුමා ගෙ කාලයෙ රචනා වුණා නම් සමකාලීන ලංකාවේ පැවැතුණු විදේශීය ආක්‍රමණයේ ස්වරූපය හෝ ග්‍රන්ථය තුළ අන්තර්ගත කරන්න තිබුණා. නමුත් ධාතුසේන කුමරු ගේ කාලය සම්බන්ධ කිසිවක්වත් මහාවංසයේ මුල් කොටසේ කතුවරයා සඳහන් කරන්නෙ නැහැ. ධාර්මික පාලකයෙක් විදියට උත්කර්ෂයට නංවන එළාර සමඟ දුටුගැමුණු කළ යුද්ධය හා එළාර ගෙ මරණය සම්බන්ධයෙන් වාර්තා කරන මහානාම හිමියෝ, සමකාලීන ව පැවැති ආක්‍රමණයේ ස්වරූපය හෝ සඳහන් කරන්න පසුබට වෙන්නෙ ඇයි? ඒ සිදුවීම විය හැක්කක් නෙවෙයි. මේ කාරණාවෙනුත් පැහැදිලි වෙනවා, බොහෝ විට ධාතුසේන රජතුමා රජ වෙන්නත් බොහෝ කාලයකට කලින් විය හැකි යි මහාවංසයේ මුල් කොටස මහානාම හාමුදුරුවෝ රචනා කරන්නේ. එ් අනුව වක්‍රව මතු වෙන තවත් කාරණාවක් තියෙනවා. මහාවංසයේ කතුවරයා ධාතුසේන රජතුමා රජවෙන්නත් බොහෝ කාලයකට කලින් ජීවත් වූ අයෙක් නම්, උන් වහන්සේ යි, ධාතුසේන රජතුමා ගෙ මාමා යි එක් අයෙක් විය නො හැකි යි කියන කාරණාව. වෙනත් විදියකට කියනවා නම් මේ කාරණාවලින් පැහැදිලි වෙන්නෙ, ‘මහාවංසය ලියපු මහානාම හාමුදුරුවෝ සහ ධාතුසේන රජතුමා ගෙ මාමා එක් අයෙක් නෙවෙයි දෙදෙනෙක්’ කියන කාරණාව.
මේ සම්බන්ධයෙන් ඉතා වැදැගත් අදහසක් මතු කරනවා මහාචාර්ය සෙනරත් පරණවිතාන. ඔහු කියනවා, ‘2 වැනි මහානාම ස්ථවිරයන් ගේ ආචාර්යවරයා වශයෙන් බුද්ධගයා ශිලා ලේඛනයේ සඳහන් වෙන 2 වැනි උපසේන ස්ථවිරයෝ, ධාතුසේන රජතුමා ගෙ මාමා කියාත්, සද්ධම්මප්පකාසිනියේ කතුවරයා කියාත් සිතන්න බැරි කමක් නැහැ’ යි කියලා.
ඒ අනුව අපිට යළි යළිත් පැහැදිලි වෙනවා. මහාවංසයේ මුල් කොටස ලියපු මහානාම හාමුදුරුවෝ සහ ධාතුසේන රජතුමා ගෙ මාමා එක් කෙනෙක් නෙවෙයි. දෙන්නෙක්. පුළුවන් තරම් කෙටියෙන් මම මේ ලිපිය සටහන් කළේ. මේ දවස්වල මම ලියන්න පටන් අරං තියෙන පොතක මේ ගැන වැඩි විස්තර සටහන් කරලා තියෙනවා. අවසාන වශයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන ගෙ සඳහනකින් මම ලිපිය අවසන් කරන්නම්. එතුමා රචනා කළ ‘මහාවංසය ලියූ මහානාම හිමිපාණෝ’ කියන ලිපියේ මේ විදියට සඳහන් කරනවා.
“... දීඝසන්දයන් කරවූ පරිවෙණය වංසත්ථප්පකාසිනියේ සඳහන් කර තිබෙන්නේ මහාපරිවෙණ යනුවෙනි. උපසේන ස්ථවිරයන් එහි වාසය කළ බව උන්වහන්සේ ලියූ සද්ධම්මපජ්ජොතිකාවෙහි සඳහන් වෙයි. උන්වහන්සේ ඒ පොත ලියුවේ මහානාම රජු ගේ 26 වැන්නේදී හෙවත් ක්‍රි: ව: 436 වැන්නේදීය. එකල අනුරාධපුරයේ නියම රජවූයේ පණ්ඩුය. ධාතුසේන කුමාරයා එකල මයිල් තෙරණුවන් ළඟ මහණව සිටියේය. ධාතුසේන රජුගේ රාජ්‍ය කාලයේදී උපසේන තෙරණුවන් වැඩ සිටියේ ඒ රජු විසින්ම කරවන ලද කාලවාපී විහාරයේය. ධාතුසේන රජතුමා ඉතා දුකින් ගතකළ අන්තිම කාලයේදී ක්‍රි: වර්ෂ 476 පමණ සිත සනසා ගැනීම සඳහා හමුවන්නට ගියේ උන්වහන්සේ යයි සිතීමට බැරිකමක් නැත. එකල උන්වහන්සේ ඉතා මහලුව සිටිසේක. රජතුමා උන්වහන්සේ හමුවූ අවස්ථාව චූළවංසයේ (XXXVIII පරි. 93 ගාථාවේ සිට) ඉතා දුක්මුසු අන්දමින් වර්‍ණනා කර තිබේ. උපසේන හිමියන් පළමු වරට සඳහන්වන වර්ෂයත් (ක්‍රි: වර්ෂ 436) මේ වර්ෂයත් (ක්‍රි: වර්ෂ 476) අතර ඇත්තේ අවුරුදු හතලිහක් පමණකි. මේ වනාහි එක පුද්ගලයකුගේ ජීවිත කාලයට අයත් නොවිය හැකි තරම් දීර්ඝ කාලයක් නොවෙයි. ශිෂ්‍යයා විසින් පිහිටුවන ලද ශිලාලිපියේ II උපසේන හිමියන් වර්‍ණනා කර ඇත්තේ අතිශයාර්‍ථවාචක වචන වලිනි. “(යමකු තුළ) (තමාගේ) පිහිට සොයා ආ දීනයා පිළිබඳ ව විශේෂ වාත්සල්‍යයක් නිරතුරුවම පවත්නේ ද, විපත් ඊ-දහරින් ධෛර්‍ය්‍යය සුන්ව ගොස් පීඩාවට පත්වූවහු පිළිබඳව දරු සෙනෙහස පවත්නේ ද, (තමාහට) අවැඩ සලසන ක්‍රෑරයාට නෑයෙකු පිළිබඳව මෙන් පතළාවූ සෙනෙහස පවත්නේ ද; මේ ආකාරයෙන් යමෙකුගේ හොඳ ක්‍රියාවන් නිසා උපන් යසසින් මුළු පොළෝතලය ම පිරී ගියේ ද;” මේ වනාහි දීඝසන්ද පිරිවෙන් හිමියන් සහ ධාතුසේන රජු අතර පැවති හිතවත්කමටත් පුත් රජුගේ ක්‍රෑරත්වය නිසා මහලු වයසේදී විඳින්ට සිදුවූ දුක් කම්කටොලුවලටත් අනුකූල වන වර්‍ණනාවකි. ...”
https://www.facebook.com/share/p/1DYTQbcUiM/
ශකිලා රාජකරුණා විසින් 2015 මැයි 15 ලියූ ලිපියකි.
No comments:
Post a Comment