මා හතරවැනි පන්තියේ ඉගෙනුම ලබද්දි මා පාසලේ විවිධ ප්‍රසංගයට මගේ සම වයසේ සහෝදර ශිෂ්‍යයන් සමග රංගනයකට එකතු වුණා.
ඒක තම අස්වනු සාර වීමෙන් ප්‍රීතියට හා උද්ධාමයට පත් ගොවි ගෙවිලියන්ගේ සතුට නිරූපනය කරන ඉදිරිපත් කිරීමක්.
රංගනය මුහුවුණේ "දකින දකින වෙලේ...
. . හොඳ කාලෙ උදාවුණා අපේ ගොයම පැසී ගියා" යන ගීය සමග.
එදා ඒ ගීයේ නාද මාලා තදින් ම මා සිතේ මුල් ඇදගත්තා.
පසු කාලෙක එකී ගීය 'වංග' ජනගීයක නාද මාලා මත බිහිවූ එකක් බව දැනගත්තා.
dhitang dhitang bole
ke madole taan tole
ඒ ගීය ගැන පස්සෙ කතාකරමු.
සිංහල ගීත වලට වංග සංගීතයේ ආභාෂය මුහු වෙන්න ගත්තෙ කවදා ඉඳලද ?
ඒක හරියටම කියන්න දන්නෙ නෑ.
මගේ මතකයේ හැටියට රුක්මණී දේවි මහත්මිය 1938 දී ගීතයක් ගැයුවා වංග ගී තනුවකට.
ඒ "පුන් සඳ පායා නීල ගුවන් හී" යන ගීතය.
සටහන -
මෙතැනින් ඔබ්බෙහි මෙහි අඩංගු කර ඇති ගීත වල නාමය මත ක්ලික් කිරීමෙන්, එකී ගීයේ "ගී අරණ" අඩවිය තුළ ස්ථාපිත කේවල පලකිරීම වෙත යොමු විය හැක.
මෙහි පදමාලාව හා වැඩිමනත් තොරතුරු ඇතුළත් කළහොත් මේ පලකිරීම කියවීම ම වෙහෙස කර වන්නට පුළුවන්.
1. පුන් සඳ පායා නීල ගුවන් හී
ගායනය - රුක්මණී දේවි
පද - අඥාතයි
තනුව - කාසි නස්රූල් ඉස්ලාම්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ
1936 දී සකීනා බෙගම් විසින් ගායනා කරනු ලැබූ Allaho Amar Swami නම් වංග භක්ති ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මෙය රුක්මණී දේවියගේ තැටියට නැගුණු ප්‍රථම කේවල ගීයයි. (1938)
හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක N. 9375
වංග ගීය
Song - Allaho Amar Swami Singer - Sakina Begum
Composer - Kazi Nazrul Islam
Lyricist - Kazi Nazrul Islam
VIDEO
ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ 1942
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්
තනුව - කමල් දාස්ගුප්ත
1941 දී කමල් දාස්ගුප්ත නිර්මාණය කළ, "Mora Kusum Hoye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Song - Mora kusum kandi kunjabane (1941)
Singers - Juthika Roy and Kamal Dasgupta
Lyricist - Kazi Nazrul Islam
VIDEO
"ශාන්තිනිකේතන්" ශිල්ප ශාලිකාවේ සංගීතය පිළිබඳ හය මසක කාලයක් ශිල්ප හැදෑරූ එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් ශාන්තිනිකේතනයෙන් නික්ම එන්නේ ශිල්ප හැදෑරීම අත්හැර දමාය.
1938 වසරේ ලංකාවට පැමිණ තම නම ආනන්ද සමරකෝන් යනුවෙන් වෙනස් කරගත්තේය.
රබීන්ද්‍රනාත් තාගෝර් තුමා 1905 වසරේ නිර්මානය කළ ගීයක් වන Ekla Chalo Re ගීයෙහි තනුවට සිංහල ගීයක් රචනා කළ ආනන්ද සමරකෝන්, 1938 දී ම චන්ද්‍රා විජේරත්න සමග එය ගායනා කොට තැටිගත කළේය.
ගායනය - චන්ද්‍රා විජේරත්න සමග ආනන්ද සමරකෝන්
පද - ආනන්ද සමරකෝන්
තනුව - රබීන්ද්‍රනාත් තාගෝර්
1905 දී රචනා වූ බෙන්ගාලි ගීතය මුලින් නම් කෙරුණේ "Eka" ලෙසයි. එය Bhandar නම් සඟරාවේ පලවූයේ 1905 සැප්තැම්බරයේදීයි. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින්ම එවකට මේ ගීය ගයා ඇත.
පසුව Ekla Chalo Re නමින් ප්‍රචලිත මේ ගීය බොහෝ අයවලුන් විසින් ගායනා කර ඇත.
Ekla Chalo Re ගීය
1948 දී සුචිත්‍රා මිත්‍රා විසින් කරන ලද ගායනයක්
VIDEO
අමිතාබ් බච්චන් කළ ගායනයක් (කහානී Kahaani චිත්‍රපටියේ ගායනයට පසු කළ කේවල ගායනයක්)
VIDEO
මේ කිශෝර් කුමාර් කළ ගායනයක්
VIDEO
ආනන්ද සමරකෝන් සංගීතවේදියාණන්ගේ ගී බොහොමයකින් වෑහෙන්නේ රබීන්ද්‍ර සංගීතයේ හා බෙන්ගාලි ජන ගී වල සුවඳයි.
එතුමාගේ එම ගී අතරින් එක් ගීයක් මා තෝරාග්තේ මෙතෙක් කවුරුන් හෝ මේ වගක් සඳහන් කර නොමැති නිසාය.
ගායනය - ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී පද රචනය හා සංගීතය - ආනන්ද සමරකෝන් 1940 දශකයේ නිර්මානය වූ ගීයකි.
අහලා ඉන්නකෝ ගීය..
මා කළ ගවේෂණයන් හී දී ඉහත ගීය නිර්මානය සඳහා ආනන්ද සමරකෝන් සංගීතවේදියා ඊට පාදක කරගත් වංග ගීය සොයා ගත හැකි විය.
එය රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ නිර්මාණයකි. කවර දාක බිහිවී ද යන්න නිශ්චිතව පැවසීමට අසීරු මුත්, මේ ගීය ශිල්පීන් බොහොමයක් විසින් ගායනා කොට ඇත.
ඒ අතුරින් මා තෝරාගත් ගායනය වඩාත් උචිත යැයි හඟිමි.
Song: Gram-Chhara Oi Ranga Matir Path
Album: Aji Kon Sure Bandhibo - Suchitra Mitra
Artist: Suchitra Mitra
Music Director: Rabindranath Tagore
Lyricist: Rabindranath Tagore
VIDEO ආනන්ද සමරකෝන් සංගීතවේදියා වංග සංගීතයේ ආභාෂය මත නිර්මානය කළ ගී රැසක් ඇති බව කිව යුතුය.
ඒ අතර ශ්‍රී ලංකා ජාතික ගීය වැදගත් ම නිර්මානය වේ. ජීවිත කාලයක් තමා කළ මෙහෙවර හා කැප කිරීම් සියල්ල ගැන කලකිරී එතුමා ජීවිතය අත්හරින්නට තීරණය කරන්නෙත් ඒ ගීය නිසාමය.
එතුමාට නිවන් සුව අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
වංග සංගීත ආරෙහි විවිධ පැතිකඩ ඔස්සේ සිංහල ගී බොහොමයක් නිර්මානය කළ අනෙක් සංගීතවේදියා ලෙස නම් කළ හැක්කේ සුනිල් සාන්තයන්ය.
එතුමා සංගීත නිපුණත්වය ලබා ගැනීමට මුලින් ඇතුළත් වූයේ "ශාන්තිනිකේතන්" ශිල්ප ශාලිකාවටයි.
එනමුත් 'ශාන්තිනිකේතන්' වංග සංගීතයට පමණක්ම නාභිගතව පැවතීම සුනිලුන්ට තම ශිල්ප පිපාසාව නිවා ගැනීමට ප්‍රමාණවත් නොවේය යන හැඟීම බලවත් වූ දා ඔහු ඉන් නික්ම, ලක්නව් හී භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.
පෙරළා ලංකාවට පැමිණි එතුමා තුළ දේශීය සංගීතය නංවාලීමේ අරමුණු රාශියක් තිබුණේය. ඒවා වෙනත් අවස්ථාවක කතාකරමු.
සුනිලුන්ගේ ගී බොහොමයකත් වංග සංගීතයේ හැඩ රුව ගැබ්වී ඇති බව මා පැවසිය යුතු කාරණයක් නොවේ. එය මනාව විද්‍යමානව පවතී.
එතුමා ඉන්දියාවේ ශිල්ප කිරීමෙන් ඉක්බිති ලංකාවට පැමිණ ගායනා කළ වංග ගීයකින් ම කතිකාව පුරමු.
එනමින් එතුමා ගායනය කළ ගීයයි මේ.
වංග බසින් 'බන්දු' කියන්නෙ මිතුරා ට.
මිතුරා ගැන ගී රාශියක් වංග ජන ගී අතර තිබෙනවා.
සුනිලුන්ගේ 'බොන්දුරේ' ගීයට මේ පහත ඉදිරිපත් කරන ගීය බෙහෙවින්ම පාදක වූ බව මගේ හැඟීමයි. පහත ගීය වංග ජන සංගීතයේ ප්‍රකට ගීයකි.
Song - Thakte Par Ghatate Tumi Parer Naiya
Artist - Sangita Sarkar
VIDEO සිංහල සංගීතය සමග වංග සංගීතයේ මහා සමීප බවක් තිබෙනෙවා. ඒ කාරණා සියල්ල අද මේ පලකිරීම තුළ බහාලන්නෙ නෑ මං.
මේ ඉහත කියා පෑමට සාධරණයක් අද මේ පලකිරීමේ හුවා දක්වන්න ඇවැසි නිසා තවත් ගීයකට මා යොමු වෙනවා.
රෝහණ බැද්දගේ මහතාගේ ගී රැසක අපේ ජන ගීයේ හැඩ තල ඉස්මතුව පේනවා.
ඒ අතරම එතුමා තම නිර්මානකරණයේ දී වංග ජන ගී ද ඇසුරු කර ඇති බව පේනවා.
ඒ සෙවණැලි හා ඡායාවන් පේන ගීයක් මා ඔබට දැන් ඉදිරිපත් කරන්නෙ. මෙයත් වංග ජන ගීයක්.
6. Prano Sokhi Re
Song - Prano Sokhi Re
Originally Sung by - Abbas Uddin Ahmed
Lyricist - Palli Kabi Jasimuddin
VIDEO
දැන් මේ ඉහත ගීය සමග ඔබේ හිතට මොනවා හරි අපේ ගීය හා සමීප බවක් හැඟුණා ද?
මම කියනවා රෝහණ බැද්දගේ සංගීතවේදියා ගායනා කරන "හා යමන් පුතා හපුතලේ කන්ද නගිනවා" ගීයට ඉහත බෙන්ගාලි ගීයේ නාදමාලා මුහුවෙලා තියෙන බවත් එකී බෙනන්ගාලි ගීයේ සෙවණැලි "හා යමන් පුතා " ගීතයේ ඇතිරිලා තියෙන බවත් පේනවා.
අපි අහලා ඉම්මු බැද්දගේ මහතා ගැයූ ගීය
ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ
ජන ගී නාද රටා ඇසුරින් තනුව සකසා ගෙන ඇත .
සංගීතය විෂයක් ලෙස හදාරා ඇත්තෙකුට ඒ සබැඳියාව තේරුම් ගන්න පහසුවෙන් පුළුවන්.
එසේ නොමැති අයෙකුට එකවර ගලපාගන්න නොහැකි වේවි වේග රිද්ම දෙකක් නිසා.
(Tempo එක ගැනයි)
මං බෙන්ගාලි ගීයේ කොටසක් ධාවන වේගය අඩු කරලා ඉදිරිපත් කරන්නම්.
ඔන්න අහන්නකෝ..
ආචාර්ය රෝහණ බැද්දගේ මහතා නිර්මානය කළ 'හා යමං පුතා' ගීයේ ධාවන වේගයට සමීප වේගයෙන් වංග ගීය වාදනය කළාම වටහා ගන්න පහසුයි මේ එකම නාද මාලා වංග ගීයේත්, සිංහල ගීයේත් දැවටී ඇති බව.
මා පවසා සිටින්නේ ආචාර්ය රෝහණ බැද්දගේ මහතා වංග ගීයෙන් නා මාලා උකහා ගත්තා කියන එක නොවෙයි. වංග ජන ගී වල ආභාෂය ලබා ඇති බවයි.
තව ගොඩාක් තියෙනවා ඉදිරිපත් කරන්න. හැබැයි මේ පලකිරීම අදට නිමා කරණවා මෙතෙකින්.
දෙවන කොටසින් හමුවෙමු. එවිට වැඩි දුර කතාතරමු.
මට ඔබේ අදහස් අවශ්‍යයි.
හිතට නැඟුණු හැමදේම ලියා දන්වනවා නම් හෙට දවසේ මෙවැනි පලකිරීමකට හයියක් වෙනවා.