Tuesday, December 27, 2016

සොඳුර නුඹ ලිහිණියක

සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬණ
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණු තටු පිරි මදින

අහිංසක අප දෙදෙන
තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල
හැර දැ‍මූවේ කව්ද
සඳට ‍දොස් නොකියන්න
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය ‍

සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬණ
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණු තටු පිරි මදින

කටුක දුක් විරහ මැද
අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු
අපේ ජීවිත වලට
කියාදෙනු පියඹන්ට
අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ
කුරුල්ලන් වී දිනෙක

සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬණ
මමද ලිහිණියෙකු වෙමි
කැඩුණු තටු පිරි මදින

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ
මෙම ගී තනුවටම ගැයෙන වෙනත් පද වැලක් කපුගේ තම කම්පන ප්‍රසංගයට ඇතුළත් කළා. සැබැවින්ම දර්ශන මේදිස් විසින් ඔහුගේ "කඳුළු මිටියාවත" කෘතියට ලියූ කවි පන්තියක කවි කිහිපයකිනුයි ඒ ගීය ගෙතුනේ. "සබඳ අපි කඳු නොවෙමු" නම් ඒ ගීය අහන්න.
මෙන්න දර්ශන මේදිස් විසින් 1992 දී රචනා කළ ඒ සම්පූර්ණ කවි පෙළ.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත කොස් නැදුන් වෙමු
උනට එ සවිය නොහෙන

පිදුරු පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අළුත් ගෙපැලක් බඳින

No comments: