Showing posts with label ශ්‍යාමන් රජින්ද්‍රජිත්. Show all posts
Showing posts with label ශ්‍යාමන් රජින්ද්‍රජිත්. Show all posts

Thursday, August 11, 2022

වන මල්ය වන මල්ය

වන මල්ය වන මල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වන මල්ය
මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය රැඳි මරු වැල්ය
සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය
නෙත නෙත පැලී ගලනා උණු කඳුළැල්ය

සිරිලක් දෙරණ මත කඳවුරු ලා ගත්තූ
පදක්කම් පැළැඳි නොපැළැඳි අලි ඇත්තු
කිරි වදිනා ගොයම් කෙත වැනසූ ඇත්තු
ලේ වැකි සිල්වතින් සැරසුනු බෝ සත්තු

වන මල්ය වන මල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වන මල්ය
මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය රැඳි මරු වැල්ය
සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය
නෙත නෙත පැලී ගලනා උණු කඳුළැල්ය

කළුවර සඳ තරු කඩා ගෙන කෑ මහ රෑට
ගිනිමල් පිපීලා හඬ දෙයි විටින් විට
කඳු කවුළුවෙන් ළාහිරු එබෙනා පැයට
දැකගන් යෞවනය ගිනි ගත් ටයර යට

වන මල්ය වන මල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වන මල්ය
මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය රැඳි මරු වැල්ය
සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය
නෙත නෙත පැලී ගලනා උණු කඳුළැල්ය

පුරන් කෙත මැදින් හමනා පවනැල්ල
හැපි හැපි හඬයි තුරු හිස ගත වන නිල්ල
යක් බූ පිසස් රැළ විත් කෑ මංකොල්ල
දෙවියනි බුදුනි පාළුයි සිරිලක් දෙරණ

වන මල්ය වන මල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වන මල්ය
මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය රැඳි මරු වැල්ය
සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය
නෙත නෙත පැලී ගලනා උණු කඳුළැල්ය

ගායනය - අමරසිරි පීරිස් ප්‍රමුඛ ගායන වෘන්දය
පද - ශ්‍යාමන් රජීන්ද්‍රජිත්
සංගීත අදියුරු - ප්‍රේමසිරි කේමදාස

මේ ගීය අඩංගු වූයේ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ "කිලර්" ඇල්බමයටයි. (කැසට් පටිය)

පද රචකයා එදා එසේ ලීවේ කවි පන්තියකි. එය මුළුමණින් පහත පරිදිය.
පාට සොඳයි පැළවෙන ගොයමේ නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන් ගොල්ල
දෙවියනි බුදුනි පාළුයි තංගලු මුල්ල

තැන තැන ගිනි වැදී දැවෙනා වන මල්ය
නෙක නෙක රකුසු දත් නිය රැඳි මරු වැල්ය
සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය
නෙත නෙත පැලී ගලනා උණු කඳුළැල්ය

තංගලු වේල්ලේ කඳවුරු ලා ගත්තු
පදක්කම් පැළැඳි නොපැළැඳි අලි ඇත්තු
කිරි වදිනා ගොයම් කෙත වැනසූ ඇත්තු
ලේ වැකි සිල්වතින් සැරසුනු බෝ සත්තු

කළුවර සඳ තරු කඩා ගෙන කෑ මහ රෑට
ගිනිමල් පිපීලා හඬ දෙයි විටින් විට
කඳු කවුළුවෙන් ළාහිරු එබෙනා පැයට
දැකගන් යෞවනය ගිනි ගත් ටයර යට

පුරන් කෙත මැදින් හමනා පවනැල්ල
හැපි හැපි හඬයි තුරු හිස ගත වන නිල්ල
යක් බූ පිසස් රැළ විත් කෑ මංකොල්ල
දෙවියනි බුදුනි පාළුයි තංගලු මුල්ල

ඒ රචකයාම (විශේෂඥ වෛද්‍ය ශ්‍යාමන් ඉන්ද්‍රජිත්), අද මෙසේ ලියයි.

ඉරත් නිවුණ, සඳත් මැරුණ, තාරකා පෙළත් පරවුණ
සිරිපා පියුමේ බුදුරැස් මීදුම් සළුවක සැඟවෙන
කෑලි කැපිය හැකි ඝනඳුර මගේ රට වසා පැතිරෙන
ඉන්දු සයුරෙ මුතු ඇටයම කඳුළු බිංදුවකි තනි වුණ

පොහොර නොමැති කුඹුරු යාය අකාලයේ වඳ පීදුණ
අහේනියේ කළු හෙවණැලි බිහි දොරින් එබී නියවන
ශිල්ප බෙදූ තක්සලාව අකාලයේ වැසී ගියෙන
මන්දපෝශිතව දරු කැල ඉබාගාතයේ ඇවිදින

පෝලිම් පමණකි ඉම් නැති රටේ මිනිස් කැළ හිරවුණ
තෙල් බිඳක් සොයා දැවෙමින් වියරු වූ ලෙසින් හැසිරෙන
මනු දම්, ගුණ දම් කොහි වෙද කැලෑ නීතියම රජවෙන
මිනිසුන් දස අතට බෙදී උනුනට එරෙහිව අවි ගෙන

දියවන්නා ඔය අසබඩ රාජ සභාවට රැස්වන
හිස් මිනිසුන් විසුළු කථා නිතර නිතර අපට කියන
විසඳුම් සෙවුමට පළමුව තමන් බඩ වියත රකිමින
වැදි බණ නිරතුරු දෙසමින් අමන චෞර කැල සුරකින

කූඹින්ටත් රජෙක් සිටින අනේ අපට රජෙක් නොවන
රජෙක් සිටී රජ පුටුවේ ඔටුන්න හරහට ඇලවුණ
කහවනුවක් රටේ නොමැත ඒ සියල්ල හොරු අරගෙන
අහෝ නීතියේ දෙවඟන කන්‍යා පටලය නැතිවුණ

අනාගතය අරුත් සුන්ව තරුණ කැලත ගිනියම් වන
ගිනි පන්දම් අතට ගනී රටම ගිනි තියන අටියෙන
පිරිත් පැන් පොදක් ඉසිමින් ගිනි නිවනට කෙනෙක් නොවන
රටවටා මහා මන්දිර අහෝ ගිනි දැලින් දැල්වෙන

මිතුරන් නොව සතුරු කැලත ඇත මගෙ රට වටකරගෙන
දුර දක්නා නුවන නැතිව වටු වැදි දැලකට සිරවුණ
ඉතින් වරෙව් මා සකියනි බාහු බල තෙදෙන් සපිරුන
වටු වැදි දැල ඉරා දමා නිල්වන් අහසට ඉගිලෙන

ශ්‍යාමන් රජින්ද්‍රජිත්
31/07/2022

"දුර දක්නා නුවන නැතිව" යන වෛද්‍ය තුමාගේ වචන කීපය පමණක් උලුප්පා පෙන්වමි.