Showing posts with label සුනිල් ආර්. ගමගේ. Show all posts
Showing posts with label සුනිල් ආර්. ගමගේ. Show all posts

Saturday, May 23, 2020

පුර පෝය හඳට


පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ .....
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් ...//

මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුණි  මන්දා

පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ .....
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මන්දා

පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ .....
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - සුනිල් එදිරිසිංහ
සංගීත සංයෝජනය - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩ සටහනකින් දොරට වැඩි මේ ගීතය 1982 දී "සඳකඩපහණ" කැසට් පටයට ඇතුළත් වුණා. 1989 වසරේදී නැවතත් "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටියට හා කැසට් පටයට එකතු වුණා.

Wednesday, May 13, 2020

මල් වට්ටියක් වෙන්දේසියක්


මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක් ...//
මල් වට්ටියක්

පිනට දහමට නුහුරු අත හිත
දුකට පිහිටට නොහිටි නෙත හිත
තරඟයක වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක්
මල් වට්ටියක්

තරඟ ඇතිමුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
හතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක් ...//

මල් වට්ටියක්
වෙන්දේසියක් ...///

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 1986 සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 
1988 "මල් වට්ටියක්" කැසට් පටය ට සහ 2001 දී නිකුත්වූ "නෑසනෙ ගී රස 2" සංගත තැටියට හා කැසට් පටයට ද ඇතුළත් වුණා.

Tuesday, March 19, 2019

ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම්

ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් කෝවිල ළඟක නැතී
බෝමළුවේ මුදු සෙවණට එන්නම් ඔබ හැර කෙනෙක් නැතී ...//

කොකුම් තිලකයෙන් නළලත සරසා ආවත් කමක් නැතී
සාරි පොඩිත්තක් ඇඳ මා එන්නම් පිළිගනු කෙනෙක් නැතී

ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් කෝවිල ළඟක නැතී
බෝමළුවේ මුදු සෙවණට එන්නම් ඔබ හැර කෙනෙක් නැතී

පාක්කුඩම් කිසිවක් නොපතන්නෙමි සිතකට සෙනේ බැඳී
ඉර හඳ නැති ලොව දවසක් එනතුරු ළංවී ඉඳිමු අපී

ඝණ්ඨා නාදය සමුගනෙ යන්නම් කෝවිල ළඟක නැතී
බෝමළුවේ මුදු සෙවණට එන්නම් ඔබ හැර කෙනෙක් නැතී ...//

ගායනය - විජය කුමාරතුංග සහ මාලිනී බුලත්සිංහල
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - එච්.එම්. ජයවර්ධන

Wednesday, March 6, 2019

සුදු පරෙවි රෑන සේ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ ...//

පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා //
පිරුණු සඳක් සේ මහද දිලේ //
යහළු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ
ඈ තාම නෑ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ

මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා
ඉර හඳ දහසක් පරදා
ඈ තාම නෑ
ඈ තාම නෑ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ ...//

ගායනය - ප්‍රියා සූරියසේන
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - සරත් ද අල්විස්

මුල් ගීය

පසු ගැයුමක්

Saturday, December 31, 2016

රුවන් මල් හැලී අකලට

රුවන් මල් හැලී අකලට
විසාලා නුවර විලසට
තුන් බියක් නොවෙයි බුදු බණ අසන මන්තරේ
මේ රම්‍ය භූමියේ
මේ පුණ්‍ය භූමියේ

කිරි වරා උගත් ශිල්පය
තන පුඩුව හපා රිදවන
වල් වැදී තිබුණු සිත්වල
දළු දමා නැඟෙයි මැර බල
කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි

කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි

රුවන් මල් හැලී අකලට
විසාලා නුවර විලසට
තුන් බියක් නොවෙයි බුදු බණ අසන මන්තරේ
මේ රම්‍ය භූමියේ
මේ පුණ්‍ය භූමියේ

සිල් බිඳී සහස් පෙළපත
උණු නොවෙයි මෙකල පඬුපුල
පිල් විදා රඟන මොනරුද
දෙපා දැක තැවෙති විළි වැද
කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි

කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි ...//

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - විශාරද ගුණදාස කපුගේ


ගමේ එන්නට හිතෙන් නෑ මට

ගමේ එන්නට හිතෙන් නෑ මට
නඟේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලියුවත්
මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා

වසර ගණනක් පෙරුම් පුරලත්
එක හිතක් නැත්නම් ...//
මගේ කඳුළට වේදනා මං
තනිව විඳගන්නම්
තනිව විඳගන්නම්

හිතේ ඇතිවුණ ආදරේ ගැන
නුඹට ඇයි රිදවුම් ...//
නුඹේ සෙනෙහස අහක ගියදෙන්
තනිව මං ඉන්නම්
තනිව මං ඉන්නම්

ගමේ එන්නට හිතෙන් නෑ මට
නඟේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලියුවත්
මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - විශාරද ගුණදාස කපුගේ


ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී ...//

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල ..//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

කඳුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කළ හැටි ...//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - විශාරද ගුණදාස කපුගේ

සිරි පොද වැස්ස වහී

සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ
මඟතොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ
වැව රවුමේ වැව රවුමේ
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී

හිමිදිරි හඳපානේ
නැළවෙන ගොයම වගේ
මගෙ සිත නැමේ නැමේ
ඔබ සිත වෙතට නැමේ

පෙම් මල් පිපුණු හිතේ
පුසුඹට නොවෙද නඟෝ
මගෙ සිත නැමේ නැමේ
ඔබ සිත වෙතට නැමේ

සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ
මඟතොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ
වැව රවුමේ වැව රවුමේ
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී

ලස්සණ වැව් ඉවුරේ
නිල් දිය සරැළි බිඳේ
සිරි පොද වැටෙයි හිතේ
වෙන්වී යමුද කොහේ

පෙම් මල් පිපුණු හිතේ
මල් පෙති කැඩෙයි අහෝ
වෙන්වී යන්ට නොවේ
ළංවී ඉඳිමු මෙහේ

සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ
මඟතොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ
වැව රවුමේ වැව රවුමේ
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී
 
සිරි පොද වැස්ස වහී
හාදු දී සුළං ඇදී එතී ...///

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - එච්.එම්. ජයවර්ධන

Tuesday, December 27, 2016

ඔබ පෙම් කරණා ඔබේ කුමාරී

ඔබ පෙම් කරණා ඔබේ කුමාරී
ඔබට ආදරෙයි කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරණා සඳ
මට ද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරණා ඔබේ කුමාරී
මට ද ආදරෙයි කියා තිබේ

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරණා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම් බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරණා ඔබේ කුමාරී
මටද ආදරෙයි කියා තිබේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - විශාරද ගුණදාස කපුගේ

Tuesday, June 9, 2015

ප්‍රේමය කිමැයි

ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි
ඔබගේ සිතමැයි
ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි

සියවසක් ගෙවී නොගියද
සියවසක් දිගයි අද රැය ...//
කළු වලාකුළක් පාවී ඇවිදින්
එතුවක් හිත පිරි සතුට වසා ගත් අරුමය
මං කාට කියන්නද මිහිරියේ

ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි

පෙර පවක් කියා සිතුවද
පෙර පිනත් ඔබයි මා ලද ...//
සිල් බිඳුණු බඹරකුට පෙම් පුරමින්
එතුවක් හද බිඳි සුවඳ සොරා ගත් අරුමය
මං කාට කියන්නද මිහිරියේ

ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි
ඔබගේ සිතමැයි
ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Saturday, June 6, 2015

අපි කතා නොකර ඉමු

අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි ළංව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

Wednesday, May 27, 2015

දේවතා එළියක්‌ විලසින්

දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

සියපත් තුඩු අග සුවඳ සිඹින්නට රෑ යාමේ
ඇවිදින තරුවක් දැයි සැක සිතුණා
ඔබ එළිය නිවා හිඳිනා

දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

සීතල දිය මත ඉගිලී යන්නට වෙර දරනා
තනිවුණු ඔරුවක්‌ දැයි සැක සිතුණා
ඔබ කතා නැතිව හිඳිනා

දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

Monday, May 25, 2015

මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද

මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද
නෙත කඳුළු අතුල
සිත දුකම වපුල
ප්‍රාර්ථනාවන් සුනු විසුනු කළ
මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද

ගෙවා පැමිණි දුර යොදුන් ගණන්
හැරී බලමි සුව සොඳුරු දසුන්
සොයා අඳුරු කළුවර සටහන්
දුකම විඳී ඔබ
සිනා සිහින අමතක කරමින්

මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද

සඳේ එළිය සිත යහන් වැදී
මලේ සුවඳ තුන් රැයම විඳී
නුඹේ මතක ඇස රිදුම් දිදී
දුකම විඳී
මගෙ හිතේ කඳුළු නුඹ තව නොදනී

මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද
නෙත කඳුළු අතුල
සිත දුකම වපුල
ප්‍රාර්ථනාවන් සුනු විසුනු කළ
මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය - දීපිකා ප්‍රියදර්ශනී

පිණි කඳුළ මම

පිණි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිණි කඳුළ මම
මල් කැකුළ මම
පිණි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

සෙනෙහසේ රළු මිහිර විඳ
සේද පෙති මත හීන නොදකී ඔබ

සීත දිය පිරි විසල් විල
තනි පැදුර පිට සිතට නොපෙනේ ඔබ

පිණි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිණි කඳුළ මම
මල් කැකුළ මම
පිණි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

ක්ෂිතිජයේ දුර ඈත හිඳ
දෑත දිගුකොට දුක කියන්නී ඔබ

මේඝයක් වී නිහඬ වෙමි
සාධු සිතකට වාසනාවයි ඔබ

පිණි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිණි කඳුළ මම
මල් කැකුළ මම
පිණි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්



රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝණ කළුවර ...//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියණේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

කළා සොලොස පිරි පුර හඳ
අතැර ගොසිනි සිය පිය බඳ ...//
එදා ‍දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ
අසන් හිමියණේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

මුර දේවතාවා නුඹයි හිමියණේ



මුර දේවතාවා නුඹයි හිමියණේ
දිය ගොඩ අහස
ලක් බිම පියස
සුරකින දෙ ඇස
නුඹමයි රහස මගෙ හිමියණේ
මුර දේවතාවා නුඹයි හිමියණේ

අව් වැසි රඳන
මහ වන ගහන
රුදු රළ බිඳෙන සමුදුර, ගගන
රට ජාතියට උවටැන් කරන
මටත් මගෙ දූ පුතුන්ටත් ආඩම්බරයි නුඹ හිමියණේ

රුපු ඔද බිඳුම
පමණම නොවන
මහ පිංකමකි රට දැය රැකුම
ගේ දොර අඩුව
විමසන සොඳින
මටත් මගෙ දූ පුතුන්ටත් ආඩම්බරයි නුඹ හිමියණේ

මුර දේවතාවා නුඹයි හිමියණේ
දිය ගොඩ අහස
ලක් බිම පියස
සුරකින දෙ ඇස
නුඹමයි රහස මගෙ හිමියණේ
මුර දේවතාවා නුඹයි හිමියණේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

නිල් මහනෙලක් අතින් ගත්

නිල් මහනෙලක් අතින් ගත්
රන්වනිය නුඹ දිටී නම් ..//
හැබැහින් නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද

පවර එනුවර කැටපත් පවුර නොලියු ගීයක් නඟන රන්සර
තිසර යහනට සඳ එළිය අවුදින්
වසත් කල විමසයි
නුඹට මා තව ගැහැණියක පමණයි

නිල් මහනෙලක් අතින් ගත්
රන්වනිය නුඹ දිටී නම්
හැබැහින් නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද

මුහුළ මහනෙල ගිවිස මඳහස
කසුබ් පෙරමඟ දිවු ඈ ඇස
තඪාගේ පෙම් මල් පිපුණු සුවඳින්
වසත් කල විමසයි
නුඹට මා සිත නොරිදවා බැරි වෙයි

නිල් මහනෙලක් අතින් ගත්
රන්වනිය නුඹ දිටී නම්
හැබැහින් නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද නුඹ පෙම් බඳින්නේ
ඇයටද මටද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Sunday, May 24, 2015

සුදු හංසිනී



සුදු හංසිනී
ප්‍රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක්‌ අනන්තයි
සුදු හංසිනී

විල් දිය තරම් ඇස කඳුළු ගැලුවා
කල් බැලූ සිත සෙනෙහසම පැතුවා ...//
සිත එකලසක්‌ කරගන්න බැරි දා
මට ප්‍රේමයද සරදමක්‌ වූවා

රන් එලි වැටක සිත පහන් දල්වා
මංමුලා කර කළුවරෙහි ගිල්වා
සිත පෙම්හසින් අසරණම වූ දා
මට මා ගැනම නොසිතුනේ මොනවා

සුදු හංසිනී
ප්‍රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක්‌ අනන්තයි
සුදු හංසිනී

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Thursday, May 21, 2015

හුදකලා වූ පෙම්වතාණෙනි

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනම ද
මම මෙතැනම ද හැමදාම
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

දියරළ පෙළකි ඇස කඳුළු හිත දවනා
මහ සමුදුරක කිමිදී සෙනේ පුරනා
රැයක් දවාලක් නොබලා
ඔබ ම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණනේ

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනම ද
මම මෙතැනම ද හැමදාම
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

සඳු හිරු මැදට සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි හෙට එතැයි දින ගණිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබ ම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණනේ

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනම ද
මම මෙතැනම ද හැමදාම
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

කවිය ඔබ

කවිය ඔබ       
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ

පද එකින් එක ලියවා
සිත කුරුටුගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මං අසරණව උන්නා
යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඬුවා

කවිය ඔබ       
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ

හොර ඇහෙන් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා

කවිය ඔබ       
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ