ඈත පිටිසර මහ කැලෑවක
ගහක අතු කොළ රිකිලි දාලා
තරුණ වයසට එළඹ ඒ ගස
නටන්නට වනි ඔමරි පාලා
හිතක් පපුවක් නැති ගහේ මැද
හදවතක් ඒ කවුරු කෙටුව ද
ආදරෙන් මුසපත් වෙලා
ප්‍රේමයේ රස පෙන්නලා
ඒ අසල සිටි හාතවාරිය
වැලක් ඒ ගස දිහා බලලා
අඟර දාලා දඟර පාලා
ඉමක් නැති පෙම් බස් දොඩාලා
ගොහින් බඩ ගා ඒ ගහේ කඳ
වටේ එතුණිය පාට විඳ ගෙන
ආදරෙන් මුසපත් වෙලා
ප්‍රේමයේ රස පෙන්නලා
කලක් ගතවුණි වැලත් මේරුණි
මුළු ගසම දැන් වැලේ පැටලුණි
එයින් තෘප්තිය නොලත් එවැලට
අසල තිබි තව ගසක් හමුවුණි
සිව් සැටක් මායම් දමා
ඒ ගහෙත් වැල පැටලුණා
ආදරෙන් මුසපත් වෙලා
ප්‍රේමයේ රස පෙන්නලා
බොල් ගහේ කඳ මැද කොටා ගිය
හෘදවස්තුව ළඟම සිටි ඒ
වැලේ කටුවක් ඇණී හදවත
සිදුරු වී ඉන් රුධිරෙ ගැලුවේ
කාගෙ හදවත දෝ අනේ ඒ
කවුද කෙටුවේ මේ වනේ
ආදරෙන් මුසපත් වෙලා
ප්‍රේමයේ රස පෙන්නලා
ජීව ශක්තිය පිරිහිලා ගිය
ගහේ කොළ අතු මැරී හේළුණි
කොහේ ඉඳලද කවුරු එව්වද
නොදත් සුළඟක් කොහෙන් ආවද
ගස් දෙකම බිම පෙරළුවා
වැල කැඩී සුළඟට ගියා
ආදරේ රඟ පෙන්නලා
ප්‍රේමයේ රස නංවලා
ගායනය - දයා නෙල්ලම්පිටිය සමග දේවානන්ද වෛද්‍යසේකර
පද - සිරිසේන විමලවීර
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
1959 දී තිරගතවූ "මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.
මෙය නාමාවලිය හා පසුබිමෙන් වාදනය වන ගීයයි.