Showing posts with label ප්‍රීති රන්දෙණිය. Show all posts
Showing posts with label ප්‍රීති රන්දෙණිය. Show all posts

Sunday, July 28, 2019

පොත් මිටිය බර වැඩියි


පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

පියා මළ දා නිවුණ
ලිපේ ගිණි ළය දවා
ගලක් වී බරක් වූ වංගියේ
මරණයේ අවි අරන්
නුඹ දැවෙයි දිවා රෑ
අපේ ගිණි නිවේවි ද මල්ලියේ

පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

සතර අත ඇද හැළෙන
මහා වෙඩි වරුසාව
මල් පියලි සේ නුඹට දැනීයන්
නුඹේ තනි නොතනියට
ගී කියන වවුල් කැළ
සුදු පරෙවි රෑන සේ පෙනීයන්

පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ප්‍රීති රන්දෙණිය
තනුව - සමන්ත පෙරේරා

Tuesday, December 27, 2016

සංසාරයේ එකම එක් වරක්

සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ
යළි වෙන් නොවනා ලෙස
අපි හමුවෙමු ආයේ
අපි හමුවෙමු ආයේ ...//

මුළු ලොව එරෙහිව අප වෙන් කළ සඳ
මගේ නිදොස් බව ඔබට කියන්නට ...//
ඔබව වැළඳගෙන හඬා වැටෙන්නට
කවදා හමුවේදෝ
සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ

ඔබ වෙන කෙනෙකුගෙ
මා තව කෙනෙකුගෙ
මියෙන තුරා අපි සැනසෙමු කවදා ...//
එන අත්භවයේ අප හමුවන්නට
කවදා මිය යම්දෝ
සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ

සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ
යළි වෙන් නොවනා ලෙස
අපි හමුවෙමු ආයේ
අපි හමුවෙමු ආයේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ප්‍රීති රන්දෙණිය
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

Friday, September 30, 2016

සුදු මල වගේ

සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ

සුදු මල වගේ පොඩි කැකුළියේ

මග වස නපුරු සල්ලාල සිත්
තොල් පෙති අගදි රස ගී ගයත් ..//
පොඩි නැගණියේ විමසිලි ඇසින්
ලොව නෙත් යොමා දැනුවත් වෙයන්

සුදු මල වගේ පොඩි කැකුළියේ

ගෙයි ඇතුළෙ මගතොට සර්පයින්
නෙක බමරු වෙස් විෂ මුරුගයින් ..//
මව්පියන් වැනි සත් පුරුෂයින්
දැන ඔවුන් ළඟ නොතැලී හිඳින්

සුදු මල වගේ පොඩි කැකුළියේ

මඟ හරිම කටුකයි දියණියේ
ගල් බොරළු මුදු පා රිදවතේ ...//
ගිය හොතින් මඟ සිහි බුද්ධියෙන්
නුඹෙ පයට විල්ලුද හමුවෙතේ

සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ
සුදු මල වගේ පොඩි කැකුළියේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද - ප්‍රීති රන්දෙණිය
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

Tuesday, June 2, 2015

ස්වාමි මා

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඔබ ලෝකයයි හිරු සඳු දිළෙයි
දා ගිය සැණින් ඝණ අඳුරු වෙයි
ඔබ යනවනම් දීපංකරේ
මම එනවමයි ඒ ඇත්තමයි

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ඇළ දොළ පවා ඇයි ගොළු වෙලා
පවසනු නොයා නවතිනු කියා
ඔබ සුවඳ දුන් නල රළු වෙලා
මට කඳුළු වැල් මාලේ ගොතා

ස්වාමි මා
යන්ටෙපා
මා දමා
ස්වාමි මා යන්ටෙපා මා දමා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - ප්‍රීති රන්දෙණිය
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


Monday, May 11, 2015

සිරි සිරි හඬින්

සිරි සිරි හඬින් පිණි මිණි පොද වැටෙන විට
දිලි දිලි අතු අගින් ගිලිහී වැටෙන විට
රන්වන් එළිය හිරු රතු පැහැ කළ කලට
සිරි සිරි ගගා ඉගිළෙයි මෙරුවන් පොදිය ...//

පිණි පොද දුටුවාද තුරු අතු අග්ගිස්සේ
හිත හිත නටයි මල් මත පෙත්තෙන් පෙත්තේ ...//
එන්නට කළින් මන්දාරම් මහ වැස්සේ
ඉන්නට හිතයි තෙමි තෙමි මිණි පොද වැස්සේ

අත්තෙන් අත්ත පැන පැන එන දිය බිංදු
තණ මත වැටී දිලිසී හිනැහෙන රුසිරූ ...//
ගස් යට වැස්සකට මා තෙමෙනා අයුරු
මෙරුවනි බලව් මගෙ සිත ඉගිලෙන රුසිරූ

සිරි සිරි හඬින් පිණි මිණි පොද වැටෙන විට
දිලි දිලි අතු අගින් ගිලිහී වැටෙන විට
රන්වන් එළිය හිරු රතු පැහැ කළ කලට
සිරි සිරි ගගා ඉගිළෙයි මෙරුවන් පොදිය

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - ප්‍රීති රන්දෙණිය
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

Anyone who has the link can play this song in your "Smart Phone"