Showing posts with label කුලරත්න ආරියවංශ. Show all posts
Showing posts with label කුලරත්න ආරියවංශ. Show all posts

Monday, June 8, 2020

කඳුළු විලේ


කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ ....//

සිහින දනව්වේ
අඳුරු ඉසව්වේ
ඔබ දෑස තරු බැබළේවා ....//
ඒ තරු කිරණේ
මඟ හෙළිවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

සිතැඟි කොදෙව්වේ
සුදු මුතු පව්වේ
ඔබ දෑත මට ළංවේවා .....//
ආ දුරු කතරේ
ඉම හමුවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

ගායනය - දමයන්ති ජයසූරිය සමග සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

1991 දී “හිරුට මුවාවෙන්” නමින් නිකුත්වූ සංයුක්ත තැටියට මේ ගීය ඇතුළත් විය.

Friday, May 29, 2020

මේ සඳ රැල්

මේ සඳ රැල් මේ තුරු වැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර .....//

සඳ නැඟුණට ලොව දිලුණට එකවර මෙලෙසින්
රැය මින් පෙර වීද කෙදින මෙතරම් මනරම් ....//

මේ කඳු රැල් මේ ගඟුලැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

මිහිලිය බඳ රුව මන නඳ මිණි මුතු නිතියෙන්
ලොව කිසි විට නොවී එසඳ මෙතරම් මනරම්

මේ හසරැල් මේ සිහිලැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

මේ සඳ රැල් මේ තුරු වැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර


ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය ඇතුළත් වුුණේ 1992 දී සින්ග්ලංනා ලේබලයෙන් නිෂ්පාදනය වූ “අමල් බිසෝ” කැසට් පටයටයි.

Tuesday, May 26, 2020

අරුණ උදාවේදෝ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ ....//

මනුසත් උයනේ මුදු සිත් පරවී
හසරැල් ගිලිහී යයි
මිහි මව් තුරුලේ නොමිනිස් කතරේ
ගිනිදැල් මතුවී එයි
එද ගිනි නිවනා දිය දහරා
කවදාදෝ හමුවන්නේ
දයා මහිමේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

කඳුළින් තැවෙනා දෙනුවන් හමුවේ
ලොව නෙත් අඳ වේ නම්
ළසොවින් දැවෙනා සුදනන් හමුවේ
දුදනන් සැනහේ නම්
මිනිසුන් නොවෙනා දෙරණක දෝ
අවසානය එළඹෙන්නේ
නිරා ගමනේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1989 දී “නිම් තෙරක්” කැසට් පටය තුළින් දොරට වැඩියා. 2001 දී “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

Monday, May 25, 2020

අවපස අහසක


අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ ....//

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙර මඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ

දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ .....///

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙය 1988 දී “මල් වට්ටියක්” කැසට් පටයතුළින් දොරට වැඩි ගීයකි. 1995 දී “මියුරු ගී 2 - රන් මලක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

Saturday, May 23, 2020

මගේම නෙතු යුග


මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ ....//

යන එන මාවත ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා

මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ

නිසසල හැම විට සිහිනෙක විලසට
ඇයගේ හඩම නඟා
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා

මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


සින්ග්ලංකා නිෂ්පාදනයක්වූ "සඳකඩපහණ" කැසට් පටයට 1982 දී  ඇතුළත්වූ මේ ගීය, 2001 වසරේදී නැවතත් සින්ග්ලංකා "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.

Thursday, May 21, 2020

පින්නේ රැයේ කඩ අගුවක


පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද

අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට

ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කළේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට

නුඹ නැති දා ඉඳන් අම්මා හැඬු කඳුළෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින් //

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුලරත්න ආරියවංස
තනුව - රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මෙම ගීය,  1982  වසරේ සින්ග්ලංකා ලේබලෙයන් නිකුත්වූ " සඳකඩපහණ" කැසට් පටයට ඇතුළත් විය.

Monday, May 18, 2020

පීදිලා පැතුම්


පීදිලා පැතුම් 
පෑදිලා රුවන්
ආසිරී ගායනා 
මේ ඔබේ නමින් ...//

චේතනා පෑහිලා දෑස සේ රැඳී
ජීවිතේ වාසනා ලොවේ සදා බැඳී

පීදිලා පැතුම් 
පෑදිලා රුවන්
ආසිරී ගායනා 
මේ ඔබේ නමින් ...//

ස්නේහයේ දාමයේ දෑත යාවෙලා
සාමයේ මාවතේ ඈත පාවෙලා

පීදිලා පැතුම් 
පෑදිලා රුවන්
ආසිරී ගායනා 
මේ ඔබේ නමින් ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1981 දී "චන්ද්‍ර මඬල" කැසට් පටයටත්, 2001 දී සින්ග්ලංකා "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, ඇතුළත් වුණා.

Sunday, May 10, 2020

තාරකා මල් පිපී හිනැහෙන


තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

හිරු සඳුට හා ලොවට රහසින්
සදාගමු අපෙ පුංචි ලෝකය ...//
දුකට කඳුළට පවුරු බඳිමින්
පෙමින් සරසමු එවන් ලෝකය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය ...//
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ සමග මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. එදා එම වැඩසටහනට සුනිල් එදිරිසිංහ මේ ගීය ගැයුවේ නිරංජලා සරෝජිනී සමගය.
1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය.