Showing posts with label බන්දුල නානායක්කාරවසම්. Show all posts
Showing posts with label බන්දුල නානායක්කාරවසම්. Show all posts

Friday, June 26, 2020

අහසට තරු ඇයි මෙතරම්


අහසට තරු ඇයි මෙතරම්
අහසේ තරමට
දිලිහෙන තරමට
තරු ගැන ඇයි මේ විපරම්
මේ විපරම්

හැම තරුවම දිලිහෙන්නෙ නෑ
දිලිහෙන තරු ගැන අහසක් කිසිදා දන්නෙ නෑ

මතකය වෙරළකි සිහින සිතිජ ඉමේ
සිතිජය හැර නිම් තෙර දකිමු කෙසේ
පහන් ටැඹක් වී දැල්වෙමි දියඹ දිගේ
නිම් තෙර දකිනා දින මහ දුරක නොවේ

ගමේ වෙරළ හමුවෙනු නැත නගර දොරේ
වෙරළ වෙනස් වුව හද එකමයි දෙතෙරේ
අප සැඟවූවත් අප'තර ඇති යම් දේ
වසන් කරනු නෑ හඳ නම් දුටු කිසි දේ
වසන් කරනු නෑ හඳ නම් දුටු කිසි දේ

අහසට තරු ඇයි මෙතරම්

ගායනය - නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහ සමග ශානිකා සුමනසේකර
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - නවරත්න ගමගේ
කළුවර ගෙදර" ටෙලි සිත්තමේ තේමා ගීයයි.

Tuesday, June 9, 2020

ඉපනැලි ද රඟයි


ඉපනැලි ද රඟයි

දෙණි පෙත ද තැවෙයි

ගම්දොර සැමරුම් හමුවෙයි

මගෙ වෙහෙර නුඹයි

අත නෙළුමක් වෙයි

පිදුමට පින් මදි ද සිතේ

 

මේ ගමන දුරයි

නුඹ තරු ලකුණයි

එළියෙන් දරුවන් සැනහෙයි

නුඹ මවක වගෙයි

හිත බැතිබර වෙයි

ඉන් මගෙ දෑසම බොඳවෙයි

 

නොදැමුණු සුළඟේ ඇයි නා මල සසල කළේ

නා මලම තමා සැඩ සුළඟ ද නතර කළේ

සසරේ පසු පස එන තැවුල ද උරුම වුණේ

එය තැවුලක් නොව එක මොහොතකි සසර මඟේ

 

මගෙ වෙහෙර නුඹයි

අත නෙළුමක් වෙයි

පිදුමට පින් මදි ද සිතේ

 

නුඹ මවක වගෙයි

හිත බැතිබර වෙයි

ඉන් මගෙ දෑසම බොඳවෙයි

 

ගායනය - නන්දා මාලනී සමග සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ

පද - බන්දුල නානායක්කාරවසම්

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



2001 වසරේ විකාශය වූ "අඹු දරුවෝ" ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.

Thursday, May 28, 2020

වියෝවූ පසුවයි දැනෙන්නේ

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම් ...//

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චණ්ඩයි

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම්

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම් ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

Saturday, July 27, 2019

උදාවෙන්න මේ රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙළාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පීදී
සුවඳින් නෑවී .....//
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ
පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙළාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

දියඹේ බිහි වී
වෙරළේ මියැදී ...//
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ
තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

ගායනය - බණ්ඩාර අතාවුද
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

Tuesday, October 4, 2016

වලා යහනේ

වලා යහනේ ළපළු ඕවිල්ලෙන්
ම වෙත ආ තරුවී
වසන්තේ විහඟී


පබා අරණේ රුසිරු දේදුන්නෙන්
පැහැ ගෙනා දෙවිඳූ
ජීවිතේ දිනිඳූ


පිරූ පෙරුමන් සැඟව යද්දී
සැඩ සුළං දහරේ
ඔබට හමුවූ හුදෙකලා මිනිසා


පෙලූ රැහැණින් මිදී එක දැහැණේ
පියුම පුබුදන සොඳුරු රණ තිසරා


පිදූ පුදසුන් උරණ වෙද්දී
නිසල බැති කුටියේ
කඳුළු සඟවා නොසඟවා සිටියා


හෙළූ නොහෙළූ ඒ කඳුළු මෙදිනේ
කිරුළ සරසන මිණි පබළු වූවා

වලා යහනේ ළපළු ඕවිල්ලෙන්
ම වෙත ආ තරුවී
වසන්තේ විහඟී


පබා අරණේ රුසිරු දේදුන්නෙන්
පැහැ ගෙනා දෙවිඳූ
ජීවිතේ දිනිඳූ

 

ගායනය - සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - සමන්ත පෙරේරා



චිත්‍රය ඩේවිඩ් ඇන්තනී කලාකරුවාගේ නිර්මාණයකි.
Wala Yahane - Athula Adikari & Samitha Mudunkotuwa

Monday, October 3, 2016

හඳපානක් සේ



හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට
...//

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ


මගෙ උරුමය රැඳුනෙන්* මා ලද ගම් පියසේ
මේ නගරේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත්හරින්න බෑ


අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැ'ර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ


මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරය පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ


හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට


නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට

ගායනය - අතුල අධිකාරි සහ සමිතා එරන්දතී මුදුන්කොටුව
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - රෝහණ වීරසිංහ

* ගී රචනයේ දී "රැඳුනෙන්" ලෙස වූවත්, සමිතා එය ගයන්නේ "රැඳුනත්" කියාය.



Handapanak Se Evidin - Athula Adikari & Samitha Mudunkotuwa

Wednesday, September 28, 2016

සිකුරු තරුව රැයේ

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝ දා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා

අහස ඉමේ තුරු මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැ‍ණේ පෙති ඉහිරී බිමට වැටෙනවා
අහසට පිපි මල් සේ පොළොවට පර මල් හිමිවේ
පිපි මල් පර මල් වෙනවා
ඒ මල් දුක සඟවනවා

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝ දා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා

සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා
ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ
ඔබ යළි සඳවත වෙනවා
මිහිරිව ඔබ රිදවනවා

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝ දා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා

ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා ...///.

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - රෝහණ වීරසිංහ

Wednesday, September 14, 2016

අකීකරුද ඔබේ සිතත්

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැඟෙන්න ...//

සුළඟ සැරෙන් හමනා විට
ගිණි දැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න
ඒ සුළඟම විවරණ දේවී

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැඟෙන්න ...//

වෙරළේ රළ සැඩ වූවොත්
ඔරු කඳ කණපිට පෙරළේවී
නිසල වුණොත් ඒ රළ පෙළ
සුවසේ අප මෙගොඩ කරාවී

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැඟෙන්න ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - එච්.එම්. ජයවර්ධන

හඬන්න ළංව ඇති

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

තරු ඇසක් ඇරී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැඟේ

තරු ඇසක් ඇරී උදාගිරේ
බිම් මලක් මුවින් හිනා නැඟේ

තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ

හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
කියන්නෙ ජීවිතේ මුලාවදෝ ..//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ධම්මිකා බණ්ඩාර
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - රෝහණ වීරසිංහ

Tuesday, September 13, 2016

රන් හිරු මඬලින්

රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා ...//

සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා

සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
දිළිසෙන දිය රැළි මාලා
නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා

රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කළ කී දේ හිත හඬවනවා

ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කළ කී දේ හිත හඬවනවා
නිවැරදි හැම සඟවාලා
වරදට මල් දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා

රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - රෝහණ වීරසිංහ

කටු අකුලේ මල් ඇහැරේ

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුලු ගී ගායනා
කුළින් කු‍ළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා

ළමයින් සුවඳයි
කඳුළක දිළිසෙයි
අඳුරු විමානේ
රන් මිණි පහනයි

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)
....

අනාථ දෑසේ
කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ
හසරැළි උයනයි

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුලු ගී ගායනා
කුළින් කු‍ළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ටිලානි අමරසිංහ සමග ළමා පිරිස
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආනන්ද ගමගේ

අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ තේමා ගීයයි.
බන්දුල නානායක්කාරවසම් මහතා කියන්නේ, ගීතය ඉහත අයුරින් ලියැවුණත්, නාට්‍යයේ නාමාවලිය දිග හැරෙන කාලය මත, තිත් ඉරෙන් පහළ පද පේළිය ටෙලි නාට්‍යයෙන් ඉවත් කෙරුණු බවයි.


Song - Katu Akule
Singers - Edward Jayakody & Tilani Amarasinha with Children Choir
Lyricist - Bandula Nanayakkarawasam
Tele Drama - Amba Yahaluwo

Sunday, June 7, 2015

ඇසේ කඳුළු දුන්නා

ඇසේ කඳුළු දුන්නා
ඒ කඳුළින් ඔබ හිනාවුණා
හිතේ සුසුම් දුන්නා
ඒ සුසුමින් මා මුලාවුණා ..//

වලා සඳැල්ලෙන් පාර ඇසූයේ නෑ
නුරා සිතුම් ළඟ සලෙලෙකු වූයේ නෑ ..//
මගේ දෙනෙත් එළියෙන් අඳ වී ගෙන
ඔබේ දෙවෙනි සිත මා දුටුවේ නෑ

ඇසේ කඳුළු දුන්නා
ඒ කඳුළින් ඔබ හිනාවුණා
හිතේ සුසුම් දුන්නා
ඒ සුසුමින් මා මුලාවුණා

ඔබේ වියරු පෙම දුක් ගිනි පුළිඟු නිවා
මගේ බිඳුණු සිත වාවා ගත්තද මා ..//
තුරෙන් තුරට ඉගිලෙන සමනලියේ
මලක් පෙති විදා එකම වරයි පිපුණේ

ඇසේ කඳුළු දුන්නා
ඒ කඳුළින් ඔබ හිනාවුණා
හිතේ සුසුම් දුන්නා
ඒ සුසුමින් මා මුලාවුණා ..//

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Saturday, June 6, 2015

නිල් අහසත් රළු පොළවත්

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

උදාගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුණු සිරගේ
පතනා කෙම් බිම වේදෝ
පතනා කෙම් බිම වේදෝ

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතක් කයක්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොව හිතට දුකක්
නෑ නොව හිතට දුකක්

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්

තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

Sunday, May 31, 2015

සිරකාරිය කළ මැනවී

සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

ඔබේ ඇසින් ගලනා එළියෙන් මට විලංගු ලා
ඔ‍බේ මුවින් නැගනා ස්වරයෙන් දොර අගුලු දමා
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

ඔබේ වතින් හමනා සුවඳින් මට ඔවදන් දී
ඔබේ පහස මවනා මිහිරෙන් මට දඬුවම් දී
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

ඔබ කවුද

ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද ...//

කැඩපතට එබී හිනැහී වැළපී
ඔබ දකිනට වෙහෙසෙනවාද
ලෝකයට සැදී අළුතින් සැරසී
වෙනකෙකු ලෙස සැඟවෙනවාද

ඔබ කවුද
හඳුනන්නට හැකිවේද
ඔබ කවුද
හැඳිනූවත් ඔබමයි ද

ඔබ ඔබම තමයි
දන්නෙත් ඔබමයි
මේ විමසුම ඔබගෙන්මයි
ඔබ කවුද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

Saturday, May 30, 2015

පරසතු කුසුමක් මා තුරුළට ආවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුණා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

උයන් පුරා මල් සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා

සුරන් සමඟ දූ කුමරි නිදනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුණා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

දියණි යළිදු අපගේ ලොව වෙනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුණා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සමග ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Tuesday, May 26, 2015

අළුයම අරුණලු

අළුයම අරුණලු දහරක් සේ ඔබ
සිත්සර විකසිත කරනා
මේ කුලගෙය මනරම්
තුන්යම දුක්බර සිහින දමේ ඔබ
උණු කඳුළැලි පිසදමනා
මේ කුලගෙය මනරම්

පෙම්වතියක සඳ කළ කී හුරතල් අමතක සේ
නළලත සිඹ මට සමුගෙනෙනා ඔබ බිරිඳ නොවේ
ඔබ බිරිඳ නොවේ මට දෙවෙනි මවුන්
මුල් දින හිනැහුණු සේ නොවෙනස් ලෙස දිවි ගමනේ
තරු එළියක් දී මඟ කියනා ඔබ පතිඳු නොවේ
ඔබ පතිඳු නොවේ මට පියෙකි උතුම්

දළ රළ ඉවසන වෙරළක් සේ නිති මා සෙවනේ
ලබන ගැහැට නිහඬව දරනා ඔබ මහිම කියන්නට
ඔබ මහිම කියන්නට නොමැත උවම්
අනන්ත රූ මැද දුටුව අරුම මිනිසා හමුවේ
කැදැලි තනා පෙරුමන් පුරනා ඔබ පතිනිය වන්නට
ඔබ පතිනිය වන්නට පෙරූ පිරුම්

අළුයම අරුණලු දහරක් සේ ඔබ
සිත්සර විකසිත කරනා
මේ කුලගෙය මනරම්
තුන්යම දුක්බර සිහින දමේ ඔබ
උණු කඳුළැලි පිසදමනා
මේ කුලගෙය මනරම්

ගායනය - සමන්ත පෙරේරා සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

අබ මිටක් සෙව්වාය

අබ මිටක් සෙව්වාය පෙර කල කිසාගෝතමියක්
දෙදරු හා හිමි නැතිව වැළපුණි පටාචාරාවක්
කවුරුදැයි මා ඔවුන් අතරෙහි නොම හැඟේය මටත්
කියාදෙනු මැන හිමියණේ මට නිසරු දිවියෙ අරුත්

සුජාතා හා විශාඛා ඈ නොයෙක කුලවමියන්
අනේ ඔබ ළඟ වැටී පෙර ලද පරම සුවය අසම්
එවන් මා හද අපිස් දිවියෙහි නොමඳ අඳුර දකිම්
මලක් කොට සිත ඉරක් සේ දිසි ඔබේ නමට පුදම්

රුවන් මාලිග කසුන් අභරණ ඇතත් මේ දිවියේ
රැඳී ඇති සැප අහෝ කිව මැන මගේ බුදු සමිඳේ
ඔබේ බුදු බණ මහී තලයේ ඇසෙන පෝ දිනයේ
ඇසේ කඳුළක් තබා යන්නෙමි සසර පිදුම ලෙසේ

අබ මිටක් සෙව්වාය පෙර කල කිසාගෝතමියක්
දෙදරු හා හිමි නැතිව වැළපුනි පටාචාරාවක්
කවුරුදැයි මා ඔවුන් අතරෙහි නොම හැඟේය මටත්
කියාදෙනු මැන හිමියණේ මට නිසරු දිවියෙ අරුත්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Monday, May 25, 2015

විමනේ දිනිඳු මගේ



විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ //

ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ //
තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ

ම් ම් ම්...
ම් ම් ම්...

මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ඝණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ //
තරුව ඔබය සදා

විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ

ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නඟන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ ///

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ අමල් පෙරේරා
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Saturday, May 23, 2015

නමක් නොදන්නා මලක්

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන් ...//

පෙරුම් පිරූ හැටි දන්නේ මල පමණයි
පෙති ඇරෙනා තුරු
ලොවක් පෙලූ දුක දන්නේ නෙත පමණයි
ඔබ දකිනා තුරු
ඔබ දකිනා තුරු

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්

පැතුම් තඩාගය ඉතිරී ඔබ දෙනෙතයි
මට පිදුවේ මධු
සුපෙම් සරා රැය නිමවී ඔබ පමණයි
ළඟ රැඳි මා සඳු
ළඟ රැඳි මා සඳු

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ දයාන් විතාරණ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Anyone who has the link can play this song in your "Smart Phone"