Tuesday, May 26, 2015

අළුයම අරුණලු

අළුයම අරුණලු දහරක් සේ ඔබ
සිත්සර විකසිත කරනා
මේ කුලගෙය මනරම්
තුන්යම දුක්බර සිහින දමේ ඔබ
උණු කඳුළැලි පිසදමනා
මේ කුලගෙය මනරම්

පෙම්වතියක සඳ කළ කී හුරතල් අමතක සේ
නළලත සිඹ මට සමුගෙනෙනා ඔබ බිරිඳ නොවේ
ඔබ බිරිඳ නොවේ මට දෙවෙනි මවුන්
මුල් දින හිනැහුණු සේ නොවෙනස් ලෙස දිවි ගමනේ
තරු එළියක් දී මඟ කියනා ඔබ පතිඳු නොවේ
ඔබ පතිඳු නොවේ මට පියෙකි උතුම්

දළ රළ ඉවසන වෙරළක් සේ නිති මා සෙවනේ
ලබන ගැහැට නිහඬව දරනා ඔබ මහිම කියන්නට
ඔබ මහිම කියන්නට නොමැත උවම්
අනන්ත රූ මැද දුටුව අරුම මිනිසා හමුවේ
කැදැලි තනා පෙරුමන් පුරනා ඔබ පතිනිය වන්නට
ඔබ පතිනිය වන්නට පෙරූ පිරුම්

අළුයම අරුණලු දහරක් සේ ඔබ
සිත්සර විකසිත කරනා
මේ කුලගෙය මනරම්
තුන්යම දුක්බර සිහින දමේ ඔබ
උණු කඳුළැලි පිසදමනා
මේ කුලගෙය මනරම්

ගායනය - සමන්ත පෙරේරා සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: