Sunday, March 22, 2015

අද ඉපැදුනු නැවුම් ලොවට

අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙළා
හද සුව යහනේ රකින්න ....//

උපන් බිළිඳු නහවන්නට
රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝපත් සෙලවී
මෙත් සිහිලෙන් සුවය දෙතී
දහසක් දෙව් බඹුන් නිතින
තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව
කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී

අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙළා
හද සුව යහනේ රකින්න

සහසක් බුදු වදන් නිතර
නැළවිලි ගීයෙන් ගයතී
සිරිදළදා හිමි සරණින්
පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර
දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට
සමන් දෙවිඳු දෝත දෙතී
සමන් දෙවිඳු දෝත දෙතී

අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙළා
හද සුව යහනේ රකින්න ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: