Monday, July 15, 2019

සෝල්බරි සාමි දියණිය ගැයූ ඕලු පිපීලා ගීය සහ තවත් ගී කිහිපයක්

ඕලු පිපීලා වෙල ලෙළදෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙළාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ

එන්නැ දියේ බැස මා හා
දෙන්නැ ඔබේ අත මාලා
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා

වැල නොකැඩී පෙම් කෙළෙමින් යන්නෝ දණ්ඩි පැටවු නංගෝ
කූණිස්සෝ උඩ පැනැ පැනැ යන්නෝ අප කැඳවා නංගෝ

මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබෙයි ඒ මාලා
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා

නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
මේවා ඇරැගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ

අන්න මල්ලි මෙහි එනවා
යමු යමු හනිකට මාලා
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා

ගායනය - ජෝන් රැම්ස්බෝතම් මැතිණිය
පද හා තනුව - සුනිල් සාන්ත
මුල් ගායනය - සුනිල් සාන්ත

මෙහි ගායනා වන්නේ මුල් ගීයෙන් කොටසක් පමණි.



ජෝන් රැම්ස්බෝතම් ඇගේ නම. ඒ නමින් ඇතැමෙකුට ඇය කවුදැයි හිතාගන්න බැරිවේවි. ඇය තමයි සෝල්බරි සාමි වරයාගේ ආදරණීය දියණිය.




එතකොට සෝල්බරි සාමි කියන්නෙ කවුද?


බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පැවති රටවල් බොහොමයක නිදහස ඉල්ලා අරගල හා උද්ඝෝෂණ පැවතියා. ඒ වායේ ප්‍රතිඵලයක් ලෙසයි 1944 දි කොමිසමක් පත්කෙරෙන්නෙ. කොමිසමේ සභාපති ලෙස පත් කෙරුණෙ Herwald Ramsbotham.

ඔහුට තමයි සෝල්බරි සාමි කියන්නෙ. සෝල්බරි සාමි යන නාමය බ්‍රිතාන්‍ය රජයට අයත් එකක්.
ඉතින් හර්වල්ඩ් රැම්ස්බෝතම් මහතාගේ දියණිය තමයි ජෝන් එලීනර් රැම්ස්බෝතම්.


සංගීතය හදාරන්න, සංගීතයේ විවිධ ඉසව් සොයා යන්න සහ ගායනයට ඈ තුළ තිබුණෙ නොසංසිඳෙන ආශාවක්.
 
ඇගේ පියා ද සංගීතයට මහත් අභිරුචියක් දැක්වූ අයෙක්. ඒ නිසාම ජෝන් රැම්ස්බෝතම් මෙනෙවියට ඇගේ සංගීතය කෙරෙහි තිබූ පිපාසයට සිහිල් දිය නොමදව ලැබුණා පියාණන්ගෙන්.

 ඔය අතරෙදි තමයි සුනිල් සාන්තයන්ගේ ගී වල තනු බටහිර ස්වර ප්‍රස්ථාර ලෙස මුද්‍රණය වන්නෙ 1948 වසරෙදි. මේ ලිපි නෙත ගැටුණු ජෝන් රැම්ස්බෝතම් මෙනවිය ඒවා කෙරෙහි බොහෝ සේ ඇදී යනවා. ඇය කොතරම් ඊට ලොල්වීද කියතොත් සුනිල් සාන්තයන්ගෙන් ගුරුහරුකම් ලබමින් ඒ ගී ගායනයට ද පෙළඹෙනවා. එසේ උගෙණ ගැයූ එක් ගීයක් තමයි මා ඔබට ඉහත ඉදිරිපත් කළේ.

 ඈ සුනිල් සාන්තයන් විසින් ගායනා කරන ලද දිය ගොඩ සැම තැන යන ගීතයත් තවත් ගීත කිහිපයකුත් ගයා තැටි ගත කළා.


ඒ ගී කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නෙ යම් කතිකාවකට මුල පිරීමක් විදිහට. ඒ කතිකාව ගීතයට අදාල නොවන නිසා මෙතන කතා කරන්නෙ නැහැ. 

 ඉස්සෙල්ල මේ ගී අසා සැනහෙන්න. ඔබේ හිතට නොයෙක් සිතිවිලි ගලා ඒවි. අන්න එතකොට කතා කරමු.


දිය ගොඩ හැමැ තැනැ

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නඟා මහ ඉහළ බලා
අම්බිලියෝ කියමින් නැළැවෙන්නී
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ
හඳපානේ රෑ යාමේ

දිය මතුපිටැ කිරි රැල්ල නැඟේ
ඔරුවක් තනිවී ඈත පෙනේ
හෝ ගා මූදේ රැල්ල බිඳෙන්නේ
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ
හඳපානේ රෑ යාමේ

වවුලන්ගේ බකමූණන්ගේ
නාදේ ඉඳැ හිටැ මට ද ඇසේ
කිරි වෙනුවට ගොම සොයමින් යන්නා
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ
හඳපානේ රෑ යාමේ

ගායනය - ජෝන් රැම්ස්බෝතම්
පද හා තනුව - සුනිල් සාන්ත
මුල් ගායනය - සුනිල් සාන්ත


 

මයුරා වන්නම

තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා
තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා

සතර සිව් වර බලැති දිඩතර සුරිදුනේ කදිරා
කතරගම පුර සුරිදු වාහන කරති රණ මොණරා

තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා
තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා

පතර තෙද ගම්බිර සතට සෙත වේල අවිය දරා
නොහැර ඉසිවර යෙදුව මේ අයුර වර්ණකර මයුරා

තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා
තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා


  

යමුනා යමුනා සෝබන ගංගා

යමුනා යමුනා සෝබන ගංගා
සුනිමල ජල දහරා
ගලන්නා
සුනිමල ජල ධාරා ...//

විහිදා මඳ රැස් දී
හිරු නැග එති උදයේ
පිපි සේ නෙක මල් සුවඳ හමා
නැළවේ මඳ සුළඟේ

යමුනා යමුනා සෝබන ගංගා
සුනිමල ජල දහරා
ගලන්නා
සුනිමල ජල ධාරා

ලලනාවෝ බැස පීනා
සුලලිත රඟපානා
කොමළ සිනා පා සුමධුර ගීතා
ගයතී ප්‍රීතියෙනා

යමුනා යමුනා සෝබන ගංගා
සුනිමල ජල දහරා
ගලන්නා
සුනිමල ජල ධාරා


ගායනය - ජෝන් රැම්ස්බෝතම්
තනුව - පී.එල්.ඒ. සෝමපාල
මුල් ගායනය - චිත්‍රා. සෝමපාල සමග පී.එල්.ඒ. සෝමපාල


  

දන්නෝ බුදුන්ගේ

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ

එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී

සේරූ පන්තී පන්තී පීනති බෝසේ
අනුරාධනගරය දැන් පෙනෙනාසේ
අනුරාධනගරය දැන් පෙනෙනාසේ

ගායනය = ජෝන් රැම්ස්බෝතම්
පද - නීතිඥ ජෝන් ද සිල්වා
තනුව - විශ්වනාත් ලව්ජි


 

ඈ විසින් ගායනා කරන ලද කරත්ත කවි කිහිපයකුත් තියෙනවා. ඒවායේ වචන නිසි ලෙස එළියට නො එන ස්වභාවයක් ඇති නිසා ඉදිරිපත් කරන්නේ නැහැ.

2 comments:

indimathie adikari said...

අගෙයි !

Gee Arana ගී අරණ said...

ස්තුතියි ඉන්දිමතී මහත්මිය. මං කැමතියි අගැයීමට එහා ගිය යමක් පවසනවා නම්. ඔබට විතරක් කියනවා නොවෙයි. මෙහි පිවිසෙන හැමටම මගේ ආරාධනය ....
ගුණ දොස් කියන්න.