දුවට මගේ හොඳ ලස්සන කතාවක් කියා දෙන්නම්
නිදාගන්න නිදාගන්න ඒක අස අසා
ඈත ගමක එක් ගමයෙක්
කාර බැඳන් ගම බිරියක්
දුවත් සමග සන්තෝසෙන්
කාලෙ ගත කළා
ගමයා කුඹුරට ගිය විට
වංගෙඩි වගෙ කකුල් අවට
තබා ගොයම පාලු වෙලා
තියෙනව දැක්කා
වංගෙඩි රෑ ඇවිදිල්ලා
ගොයම කනව යැයි හිතලා
ඒ වංගෙඩි බැඳ තබන්න
ගමයා හිතුවා
ඒකෙන් නැත වැඩක් වුණේ
කුඹුර පාලු වී තිබුණේ
ගමය හොරා අල්ලන්නට
පැලට රෑ ගියා
පහුවෙනිදා එළි වුණාට
ගමය ආවෙ නෑ ගෙදරට
ගමමහගෙයි දුවයි දුකෙන්
බල බල හිටියා
එදා රෑම ඔහු ආවා
දෙව් ලොව ගිය හැටි කීවා
රන් මිණි මුතු රිදී අපට
එහෙන් ලැබේවී
ගමමහගේ මෙහෙම කියයි
තණ්හාවෙන් පලක් නොවේ
අපෙ අතු පැල අපට හොඳයි
වැඩියෙ ඕනෙ නෑ
මෝඩියෙ මේ ටික අහපන්
දෙව් ලොව යන්නට හදපන්
කියා ගමය ගමන යන්න
ලෑස්ති කෙරුවා
ගමරාළයි ගමමහගෙයි
දුවත් සමග රිදි නැන්දයි
කුඹුරෙ ඉද්දි සුදු අලියෙක්
පහළට ආවා
වල්ගයෙ එල්ලුණු ගමයයි
ඔහුගෙ කරේ ගමමහගෙයි
රිදි නැන්දා දුවත් සමග
පස්සෙන් හිටියා
වලිගයෙ කෙඳි අලියාගේ
නහයෙ වදියි ගමයාගේ
කිවිසුම් යන්නට එද්දී
ඉවසන් හිටියා
අලිය ටිකක් උඩ යනකොට
රිදි නැන්දා ඇරියා කට
දිවිය ලෝකෙ විස්තර ගැන
අහන්නට වුණා
එහේ පිඟන් කොයි තරමද
කුරුණිය කොච්චර මහතද
ගමයට තැන අමතක වී
අතින් පෙන්නුවා
ගහෙන් ගෙඩිය ඇද වැටුණා
විලසට ගමයා වැටුණා
අනිත් අයත් දඩිස් ගාලා
බිමට පෙරළුණා
මෝඩකමයි තණ්හාවයි
දෙකෙන් සිදුවුණේ මේකයි
ඒක නිසා ගම පවුලම
දුකට පත්වුණා
ගායනය - ලතා වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1965 දී ප්රදර්ශනය වූ "චණ්ඩියා" චිත්රපටිය සඳහා නිර්මානය වූ නිදි ගන්වන කවි කතාවකි.
කොළුම්බියා GES 1062 තැටියේ දෙපැත්තේම ගීය ස්ථාපිතයි.
එනමුත් මේ ගායනය චිත්රපටියට ඇතුළත් කර නැති අතර, චිත්රපටි ගීත පොත් වලද දක්වා නැත.
තැටි රූපය I.G. බන්දුල මහතාගේ යූටියුබ් නාලිකාවෙනි.


No comments:
Post a Comment