පහන් පැල ළඟ එලා කිරි හිනා හදවතේ
වැඩට ගිය පියාණන් ගෙදර එනතුරු එදා
වැලි වලින් පිසූ බත් හීල් වෙන්නට නොදී
මඟ බලා උන්නෙමී
ආදරෙන් ආදරෙන්
සඳකඩක් මෙන් එලා නව යොවුන් සෙනේහේ
සසල දෙනෙතින් ඔබේ මුහුණ දකිනා තුරා
දොරකඩට වී සිනා පොකුරක් ව පිබිදිලා
මඟ බලා උන්නෙමී
ආදරෙන් ආදරෙන්
පැය ගණන් දහවලේ දවස හා පොර බදා
සැනසුමක් ලබන්නට හිරු නිවා සතපවා
හිමි මගේ නිවහනට අදත් වඩිනා තුරා
ඉඳිමි මම මඟ බලා
ආදරෙන් ආදරෙන්
වසර ගණනක් ගෙවා ජීවිතේ කෙළවරේ
නිවී යන දුබල නෙතු වෙව්ලමින් මව් පෙමින්
තුරුණු විය පත් අපේ පුතණු ගෙට එනතුරා
මතුත් මඟ බලා ඉමි
ආදරෙන් ආදරෙන්
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - දයා ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
(මෙම ගීයෙහි තනුව සෝමපාල රත්නායකයන්ගේ බවට තැනෙක සඳහන්ව ඇත. එය සාවද්‍යය. )
No comments:
Post a Comment