Saturday, June 8, 2019

ලොස් කබෙයියෙරෝස් (බොහෝ දෙනා දන්නා ලෙස, ලොස් කැබලරෝස්) තෙවන අඩුක්කුව

තෙවන අඩුක්කුව ....

ලොස් කබෙයියෙරෝස් නිම් වළල්ල සිනමා කෘතිය දක්වා ආ ගමන ගැන මා කතා කළා. එයින් පස්සෙ මොකද වුණේ?

1964 දි, එතෙක් අනුන්ගෙ ගීත ගයමින් සිටි ලොස් කබෙයියෙරෝස් වෙත ඒ ගීත වල අයිතිකරුවන් වෙතින් විරෝධතා එල්ල වීම නිසා, ඔවුන් තමන්ගේ ගීයක් නිර්මානය කරන්නට පෙළඹුණු බවත්, ඒ අනුව "මල් බර හිමිදිරියේ" ගීය නිර්මාණය වූ බවත් මීට ඉහත දී සඳහන් කළා.

මේ කාලයේම නොයෙල් රණසිංහ ප්‍රමුඛ ලා සිලෝනියන්ස් කණ්ඩාමටත් පෙර සඳහන් කළ උවමනාවම, එනම් තමන්ගේ වන සිංහල ගී නිර්මානය කර ගායනා කිරීමේ ඕනෑකම තිබුණා. එහි පළමු ඵලය වුණෙ, "එක්සත් වී බේද නසා" නම් ගීය. තවමත් නිශ්චිතව ප්‍රකාෂ කළ නොහැක්කේ පළමුවන සිංහල කණ්ඩායම් ගීතය ලා සිලෝනියන්ස් නිර්මානය කළ මේ ගීය ද නොඑසේ නම් ලොස් කබෙයියෙරෝස්ලාගේ "මල් බර හිමිදිරියේ" ගීයද යන්නයි.

එ් අතර 1960 න් පසුව කණ්ඩායම් රැසක් එක පෙළට බිහිවෙන්න ගත්තා. ඒ ඒ කණ්ඩායම් වල කැපී පෙනුණු කාරණා මත මේ කණ්ඩායම් රසිකයන්ගෙ හිත් වල ලැගුම් ගත්තා. කොහොමවුණත් හතු පිපෙන්නා වාගෙ බිහිවුණ සංගීත කණ්ඩායම් රැසක් නිසා, අර කලින් එකකට දෙකකට ඒකරාශී වෙලා තිබුණ ජන ප්‍රසාදය බෙදී යන්න පටන් ගත්තා.

1970 දී නිම් වළල්ල චිත්‍රපටිය තිරගතවුණා. එම චත්‍රපටියට මූලික පියවර තැබුණේ 1967 දී බව මා මීට ඉහත පවසා සිටියා. ඉතින් "නිම් වළල්ල" සිනමා කෘතියට "ලොස් කබෙයියෙරෝස්" එකතුවුණෙ 1968 හෝ 1969 වෙන්න ඕනෑ. ඉන් පසුව ලොස් කබෙයියෙරෝස් මොනවද කළේ?

තිස්ස අබේසේකරයන් "කලාමැදිරියෝ" නමින් සිනමා කෘතියක වැඩ ආරම්භ කරල තිබුණා. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා එම චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු නැවතුණා. සංගීත කණ්ඩායමක් වටා ගෙතුණු කතාවකින් යුත් එම චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය පැවරුණේ නෙවිල් ප්‍රනාන්දු වෙත. චිත්‍රපටියට ගීත තුනක් පටිගත කළ බව වාර්තා වෙතත්, වැඩිමනත් තොරතුරු නැහැ.

සොයාගෙන යද්දි මට එක් ගීයක් හමුවුණා ටිකක් විශේෂ වූ. ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ගැයූ බොහොමයක් ගී ඔවුන්ම ලියා ඔවුන්ම සංගීත නිර්මාණය කරන ලද ඒවා. මං මේ කියන ගීයේ පද රචනය ප්‍රශස්ථ මට්ටමක තියෙන එකක්. එය කවර හෝ ප්‍රවීනයකු විසින් රචනා කළ එකක් බව හොඳින්ම ඒත්තු යනවා. රහස් දූත නම් වූ චිත්‍රපටියකටත් ලොස් කබෙයියෙරෝස් සංගීතය අධ්‍යක්ෂණය කළා නෙ. එහි වූයේ රුක්මනී දේවි ගැයූ ගීයක්. මම මේ කියන ගීය අර තිස්ස අබේසේකරයන් ට කර ගන්න බැරුව අතහැර දමනු ලැබූ චිත්‍රපටියේ ගීයක් බව තහවුරු වුණා.

අතීතයේ උණු අළු පල්ලේ
මතක මැදින් ගිනි පුපුරු නැගේ
දහසක් රැහැනින් හද මිදුවත් මා
නොමැකෙන පියගැට පෙළක් පෙනේ

විය සිදුරින් පෑදී පෙනෙනා
අහසේ සඳ පිලුනුයි
සාර කපක් ගෙවුණත් ආයේ
පායන සඳ පිලුනුයි

පස් ඉඳුරන් දාහේ දැවෙනා
දැහැනේ රස නොරැඳෙයි
මාර ළඳුන් රැඟුවත් ආයේ
මා හද නම් නොපිපෙයි

අතීතයේ උණු අළු පල්ලේ
මතක මැදින් ගිනි පුපුරු නැගේ
දහසක් රැහැනින් හද මිදුවත් මා
නොමැකෙන පියගැටෙ පෙළක් පෙනේ ////.

ගායනය - නෙවිල් ප්‍රනාන්දු
පද - ?
තනුව - නෙවිල් ප්‍රනාන්දු
නිෂ්පාදන කටයුතු සම්පූර්ණ නොවීම හේතුවෙන් ප්‍රදර්ශනය කිරීමට නොහැකිවූ  "කලාමැදිරියෝ" චිත්‍රපටියේ ගීයකි.


නෙවිල් මංගල සාද වැනි තැන්වල ගායනයට ඉදිරිපත් වීමට නොකැමැත්තක් පෙන්වූ අයෙක්. ලොස් කබෙයියෙරෝස් කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් ගේ විශේෂ හැකියාවන් ගැන සඳහනකුත් නෑ. නෙවිල් ගේ පෞද්ගලික ජීවිතය ගැනත් විවිධ වූ කතා පැවතුණා. ඉතින් නෙවිල් යම් ජීවිත අරගලයක සිටියා නම්, එය ප්‍රබලවම ලොස් කබෙයියෙරෝස් කණ්ඩායමට බලපෑවා විය යුතුයි.

නෙවිල් කළු දිය දහර චිත්‍රපටියට ගායනා කළ පණම් අටෙන් මට වැඩි කර දුන්න (මාස්ටර් සර්) ගීය, ඔහු නමින් සනිටුහන් වන අවසන් සංගීත දායකත්වය. "කළු දිය දහර" තිරගතවුණේ 1975 නොවැම්බර් 28 වැනිදා. ඒ වන විටත් නෙවිල් ප්‍රනාන්දු දිවි ගමන නිමා කොට හමාරයි. නෙවිල් මියගියේ 1975 අප්‍රේල් 23 වැනිදා. ලියුකේමියා රෝගයෙන් ඔහු මිය යන විට ඔහු පසුවුණේ 38 වන වියේ. ඉතා කෙටි ආයුසක් වින්දත්, ඒ කෙටි කාලයේ ඔහු සංගීත රසකාමී හදවත් වල දිගු සටහනක් තබා තිබුණා.


සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ

සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ
නැද්ද ළඳේ ගතට ඔබේ විඩා දැනෙන්නේ
රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ ......//

සාගර කුමරියගේ රඟ දෙන ළැම පෙදෙසේ
ගැටී හමයි සිසිල් සුළං මා සිත සැනසේ ....//

සිත තුළ රස හැඟුමන් ඔබ හට පවසන සේ
හද පොරකයි දුව එන්නට ඔබ පසුපස්සේ //

සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ
නැද්ද ළඳේ ගතට ඔබේ විඩා දැනෙන්නේ
රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ

ජීවිතයක ඇති පාළුව නැති කරගන්න
එනවද සොඳුරියෙ මොහොතක් මා සනසන්න ....//

අද දින නොම හැකිනම් රස බස් මුමුණන්න
යළි ඔබ හෙට පැමිණෙනවද මා මෙහි ඉන්න //

සමුදුරු දේවී
ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නේ
නැද්ද ළඳේ ගතට ඔබේ විඩා දැනෙන්නේ
රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ
නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩදෙන්නේ

සමුදුරු දේවී ඕ හෝ....ප

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද හා තනුව - ලොස් කබෙයියෙරෝස්




ඕලු නෙළුම් කෙකටිය පිපිලා (ලස්සනයි)
මාළු රෑන මල් විලෙ පිරිලා (පියකරුයි)
ඈත අහසෙ හිරු දෙවි නැඟි (මෑත දසත හිරු රැස් කඳ)
විහිද විහිද නටන විලාසේ (සුන්දරයි)

ඕලු නෙළුම් කෙකටිය පිපිලා (ලස්සනයි මනහරයි )
මාළු රෑන මල් විලෙ පිරිලා (සිත්කළුයි පියකරුයි)
ඈත අහසෙ හිරු දෙවි නැඟි මෑත දසත හිරු රැස් කඳ
විහිද විහිද නටන විලාසේ (සුන්දරයි)

රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

සඳුන් කඳෙන් ඔරුව සදාලා (හරි හැඩයි)
නෙළුම් මලෙන් එය සරසාලා
සිහින් සිනිඳු රුවල් නඟා
සිසිල් සුළං හමන දිහා
පදිමු පදිමු රැල්ල කපාලා

සඳුන් කඳෙන් ඔරුව සදාලා (නෙත් පිනයි)
නෙළුම් මලෙන් එය සරසාලා
සිහින් සිනිඳු රුවල් නඟා
සිසිල් සුළං හමන දිහා
පදිමු පදිමු රැල්ල කපාලා

රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
රැල්ල නගී අහස උසට සුනිල් ජලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ
එන්න බලා ඔරුව අපේ පැදෙන විලාසේ

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

එගොඩ ගොඩේ ඉවුර බලාලා
පදිමු පදිමු රැල්ල කපාලා

පදිමු පදිමු රැල්ල කපාලා
පදිමු පදිමු රැල්ල කපාලා
පදිමු පදිමු රැල්ල කපාලා
පදිමු පදිමු රැල්ල කපාලා (ආ.. ආආ.. ආ..

ගායනය - ලොස් කබෙයියෙරෝස්
පද හා තනුව - ලොස් කබෙයියෙරෝස්
(මේ ගීයේ පද රචනය ශ්‍රවනය වන ආකාරයෙනි. මට එහි බොහෝ තැන් වල ප්‍රශ්නාර්ථ ඇත. එම තැන් නිල් වර්ණයෙන් උපුටා දක්වා ඇත. එක්ඇ තැනක ඇසෙන්නේ මාළු රෑන මල් වල පිරිලා ලෙසයි. ???)



හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
සුන්දර සන්ධ්‍යාවේ
හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ

රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ ...//

සීතල ජල ධාරාවෝ
ගී ගයමින් ගංගාවේ
ගලා යන්නේ මිහිරේ
ගලා යන්නේ
ගලා යන්නේ
නෑවී චන්ද්‍රාලෝකේ

සීතල ජල ධාරාවෝ
ගී ගයමින් ගංගාවේ
ගලා යන්නේ මිහිරේ
ගලා යන්නේ
ගලා යන්නේ
නෑවී චන්ද්‍රාලෝකේ

හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ
රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ

කෝකිල ගීතේ රාවේ
ඈත ඇසේ කඳුකරයේ
පාවී යන හැටි පුළුන් වලා
නිසංසලේ නිල් ගුවනේ .....//

අරලිය මල් සුවඳ උරා
එන සීතල සුළඟ හමා ....//

රන් තරු බැබලේ
නිල්වන් අහසේ
නෙක් ආරා දහර මවා

හිරු දෙවිඳා කිමිදේ මුහුදේ
අඹරේ අවර කොණේ
රන්වන් පාට වලා දිලිසේ
සුන්දර මේ සන්ධ්‍යාවේ

ගායනය - රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
පද - ලොස් කබෙයියෙරෝස්
නාද සිත්තම - නෙවිල් ප්‍රනාන්දු



කලින් පිටුවට (දෙවන අඩුක්කුව)

No comments: