Sunday, November 1, 2020

බොහොම ඈත ගම්මානෙක

බොහොම ඈත ගම්මානෙක මිනිහෙක් හිටියා
ගමේ ඉන්න කොයි කවුරුත් කියන්නෙ පැටියා
කොටු ඉහිරුණු මඩකලපුවෙ සරමයි ඇන්දේ 
ඒ මතුපිට වට හතකට හවඩිය බැන්දේ

ඉරණම ලෙස පැටියට හිටි හුරතල් බාරී
මුළු ගම්මානෙටම හිටිය හොඳ හැඩකාරී
මේ දෙදෙනට උපමාවක් යොදන්ට බැරිද
තේකොල සහ සීනි වගේ කීවොත් හරිද

එක පරහක් පැටියා හට ඇත අහපල්ලා
පැටියා කවදාවත් නැහැ කොළඹ ඇවිල්ලා

දිනක් ගමය හාමිනේගෙ හිස අතගාලා
මෙන්න මෙහෙම දෙයක් කීව කට හැඩදාලා
මගේ කල්පනාවක් ඇත වචනෙ දියන්කෝ
වෙසක්දාට අපි දෙන්නා කොළඹ යමන්කෝ

කතාවෙලා වෙසක් දවසෙ විඳල දහවදේ
බස් එකකින් පිටකොටුවට පැමුණුනා උදේ

කරත්තයක අර මිනිහෙක් බැඳගන එන්නේ
වයිර වගේ ඕකත් තණකොළ දෝ කන්නේ
සාප්පුවක් එහෙම පිටින් පාරෙ දුවනවා
යකඩ කම්බි උඩින් යටින් දාල තියනවා

පිටිසර තාලෙට යනහැටි දකිමින් දෙන්නා
දන්සැලකින් කොළු ගැටයෙක් එළියට පැන්නා

හොඳ දවසේ අප්පුහාමි සමග හාමිනේ
එන්න එන්න කන්න මුදල් ඕන නෑ අනේ
අපේ ගමේ ගබන් අයිය සල්ලි තිබුනට
වේලක් කන්නට දෙනවද කිසිම කෙනෙකුට
කියමින් ගමමහගේ දන්සැලට ගොඩවුණා
සැමිය සමග කාලා බීලා යන්ට පිටවුණා

සැතපුම් හත අටක් විතර ඇවිදල පාරේ
ගම යුවලගෙ ඉහිංකනින් දාඩිය බේරේ
මටනං දැන් හොඳටම බඩගිනියි යෝදියේ
අර පෙනෙන්නෙ දන්සැලක්ද එහා වීදියේ

කඩයක් අහලට ගියකොට පිටිසර පොව්වා
එතන කවුද කෑම කන්න එන්නට කිව්වා

ගමජෝඩුව දන්සැලක්ය යන විස්වාසෙන්
ඇතුළට හිඳගන්ට ගියා හිත සන්තෝසෙන්
කුකුල්මස්ද බිත්තර සහ මාළු බැදපුවා
බුරියානිද ගෙනත් තැබුව හොඳට හදපුවා
මොනවද මොනවද කියකිය අසමින් මේවා
ගෙනත් තියපු ඒව පැටිය ඔක්කොම කෑවා

කෑමෙන් පසු ගමජෝඩුව එළියට ආවා
රුපියල් නවයයි කියලා සද්දක් ආවා
උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලී
රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලී

කෑම කන්ට අඬගැහුවේ මෙතන සිටි අයයි
මම හිතුවේ මේකත් මේ දන්සැලක් කියයි

උන්නැහැ මට සමාවෙලා ටිකක් හිටිනවා
රුපියල් තුනකුත් සත හතළිහක් තියනවා
ඒයි ගණන්කාරය උඹ මේ ටික අහපං
අතේ තියන සල්ලි එක්ක හවඩිය දීපං

ගමයෝදිය ගමයාගේ ඉලයට ඇන්නා
අනේ ගමය හවඩිය දී පාරට පැන්නා

මස් කෑවට පෝය දවසෙ තොට පළදුන්නා
කියමින් හාමිනේ ගෙදර යනතෙක් බැන්නා

ගායනය - යු.ඒ.එස්. පෙරේරා
පද - යු.ඒ.එස්. පෙරේරා
තනුව - Nagardas Nayak

කලක් ගුවන් විදුලියේ "ළමා පිටිය" මෙහෙය වූයේ යු.ඒ.එස්. පෙරේරා මහතායි. ඔහු වඩාත් ප්‍රසිද්ධ "සිරි අයියා" යන ආදර නාමයෙනි.
ඔහු විසින් ගැයූ ගී කීපයක් ද තැටියට නැංවී තිබේ. මේ ඉන් එක ගීයකි.
මේ ගීයේ තනුව, 1937 දී තිරගතවූ "අලිබබා" වංග චිත්‍රපටියට, Sadhona Bose සමග Modhu Bose ගැයූ "Chhi Chhi Etta Janjal" ගීයෙන් උපුටා ගෙන ඇත.



"Chhi Chhi Etta Janjal" වංග ගීය


No comments: