Friday, October 8, 2021

ටීකා සීපද ආරෙන් නිමැවුණු ගී

සීපද නැත්නම් සිව්පද කියන්නේ, ගැයිය හැකි ලෙස පද පේළි හතරකට ගොනු කළ කවියක්. මේ එක එකක් පද පේළියකට පෙරාතුව, එකී පේළියේ කිසියම් වචනයක් හෝ ක්‍රියාවක් හෝ ගුණයක් හෝ අගක්, මුලක්, නැට්ටක් හෝ මොන මළ ඉලව් සම්බන්ධයක් හරි අල්ලාගෙන, ඒ අල්ලාගත්තු එකේ විස්තරයක් අටුවා ටීකා ටිප්පනි හරි, පද පෙරළියක් හරි, මොන ආලවට්ටමක් එක්ක හරි හෑල්ලක් සේ කියවා ගෙන යෑමක් පද පේළි හතරට ඇමිණුවාම අන්න ඒකටයි "ටීකා සීපද" කියන්නෙ.

ගැමියා මේ ගායනා කළේ හුදෙක් විනෝදයට. යෙදුණු වැඩක අතරවාරයේ තෙහෙට්ටුව, විඩාව මඟහරවා ගන්න. බොහෝ විට අර හෑල්ලේ කියැවෙන දේ හ හරි ගැලපීමක් නොතිබෙන්නටත් පුළුවන්. අවශ්‍ය වුණේ හාස්‍යය හෝ යම් රසයක් දනවලා විඩා ගතට නව ජීවයක් දෙන්න.

සමූහ වශයෙන් එකතු වෙලා යම් කර්මාන්තයක නියැලෙද්දි හෝ ගමේ තැනෙක වැඩක නිරතව ඉන්න අතරෙ මේ ටීකා සීපද කියන්න ගැමියා පුරුදු වෙලා හිටියා. ලණු ඇඹරීමේදි, පොල් අතු විවීමේදී, කුරහන් ඇඹරීමේදි ඈ කර්මාන්ත වලදීත්, වහලක් සෙවිලි කිරීමකදි, වරිච්චි බඳද්දි හුනු පිරියම් කරද්දි වගේ අත් ලෙහෙව්වකදී දෙපැත්තකට බෙදී ටීකා සීපද කීම එදා ගැමි ජනයා අතර පැවති විනෝද කෙළියක්.

මේ ප්‍රකට ටීකා සීපදයක්.

කජු වාරයක් ද, කොස් වාරයක් ද, දෙල් වාරයක් ද, අඹ, රඹුටන්, මොර, හිඹටු වාරයක් ද
මොන හත්වලාවක වාරයක් ද කියන්ට මම දන්නෙ නෑ
වාරේ කුරුඳු අරගෙන මම යන කලට

අලින් ගිය පාරක් ද, කොටින් පාරක් ද, මුවන් පාරක් ද, ගෝනුන් පාරක් ද,
නයින්, පොළොඟුන්, පිඹුරන් පාරක් ද,
මොන විදියේ පාරක් ද කියන්ට මම දන්නේ නෑ
පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට

රත්තරන් මාලයක් ද, රිදී මාලයක් ද, තඹ මාලයක් ද, පිත්තල මාලයක් ද,
මුතු, මැණික්, වෙෙරෝඩි බැඳපු මාලයක් ද
මොන කෙහෙල් මල් මාලයක්ද කියන්ට මම දන්නේ නෑ
මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට

තාත්තාගෙන් ආ නෑකමක් ද, මුත්තාගෙන් ආ නෑකමක් ද, නත්තාගෙන් ආ නෑකමක් ද,
පනත්තාගෙන් ආ නෑකමක් ද, කිත්තාගෙන්, කිරි කිත්තාගෙන්, කිරි කෑ මුත්තාගෙන් ආ නෑකමක් ද, කියන්ට මම දන්නෙ නෑ
හූරේ ඔරුව පැදපන් කීය එගොඩට

වාරේ කුරුඳු අරගෙන මම යන කලට
පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට
මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට
හූරේ ඔරුව පැදපන් කීය එගොඩට

මේ දැරිවිගෙ ටීකා සීපදය කෝමද හැඩ බලන්ටකො.




මේ ආචාරිනී නන්දා මාලිනී මහත්මිය, ටීකා සීපද ඇසුරු කොට නිමවූ ගීයක් හැඩ කළ හැටි.

සාර සිරි සාර රූ සාර ගුණ සාර මහා සාර
මොන සාර ද මම දන්නෑ
සාර සුබාවට විල පිපි නෙළුම් මල

පලා නෙළනවා ඵලුත් නෙළනවා දලුත් නෙළනවා මලුත් නෙළනවා
මොන මළ ඉලව්වක් නෙළනවාද මම දන්නෑ
නෙළා ගෙන ඇවිත් තනලා මල් මාල

නෙත් ලෝල කන් ලෝල කය ෝල මන ලෝල
මොනවා ලොවිනවාද මම දන්නෑ
ලෝල වෙලා කර ලා ගෙන එම මාල

තම්පලා පොල්පලා කූරපලා පලා නොකියන පලා
මොන පලා ද මම දන්නෑ
පලා නොයන් කටු තියලා මලේ මුල

වැව් රැල්ලද ගඟ රැල්ලද අවු රැල්ලද නව රැල්ලද
මොන මළ ඉලව් රැල්ලක්ද මම දන්නෑ
රැලී රැලී ගඟ දිය පිට නැඟෙන රැලී

රූපේ ඇලුනාද ගුණයේ ඇලුනාද බලයේ ඇලුනාද ගිය ගිය තැන ඇලුනාද
ගලවන්ට බැරි වෙන්නම ඇලුනාද මම දන්නෑ
ඇලී ඇලී සිහිලැල් ගඟ දියට ඇලී

සැපේ ගැලුනාද දුකේ ගැලුනාද රසේ ගැලුනාද දියේ ගැලුනාද
මොකේ ගැලුනාද මම දන්නෑ
ගැලී ගැලී දිය නාලා ගඟේ ගැලී

අත් සැලුනා පා සැලුනා හිස් සැලුනා සිත් සැලුනා
තව මොන මොනවා සැලුනාද මම දන්නෑ
සැලී සැලී නොකියන් ගඟ දේය සුලී

සාර සුබාවට විල පිපි නෙළුම් මල
නෙළා ගෙන ඇවිත් තනලා මල් මාල
ලෝල වෙලා කර ලා ගෙන එම මාල
පලා නොයන් කටු කියලා මලේ මුල

ගායනය - ආචාර්ය නන්දා මාලිනී
පද - මහින්ද දිසානායක
සංගීත අදියුරු - ආචාර්ය නන්දා මාලිනී




පළාතෙන් පළාතට, වහරණ ඌරුවට හරි, කතා දමන ඌරුවට හරි, ඇවතුම්  පැවතුම් වල ඌරුවට හරි, වෙල්ලස්සේ, රිදීමාලියද්දේ, ගෝමරන්කඩවල, අටබාගේ, දොළොස්බාගේ, මොන බාගේ හරි, වැදි ගම් පොජ්ජෙ, ගොඩතලාවෙ, තමන්කඩුවෙ, උනිච්චියෙ,  මාවරගල් පොජ්ජ, ලුණුකිරිගල, හෙන්නාලිහෙල, කදිරගොඩ, කන්දේ ගල් ලෙන, කුට්ටිරියාගොඩ, මහගල්ගොඩ, එළුවා කන්ද, කළුවා කන්ද, ඔය කොයිබෙ හරි, පැලපදියම් වෙලා තිබාගත්ත හැටි පොජ්ජවල්, අයුරු පොජ්ජවල්, කොයි එකමක් එක්ක හරි මන්දො වෙලා, මේ සීපද වල, ඒ ඒ  පොරදේසවල් වලදි පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා.

මේං අහන්නකො.



ඕං මේකත් අහන්ටකෝ


ඉතින් දේසෙන් දේසෙට, බාසෙන් බාසෙට, මේ දියතේ කොතැනත් ජන ගායනා, ජන ගී තියෙනවා; කාලාන්තරයක් තිස්සෙ ඒවායෙ හැඩ රුව, ඒ ඒ ජන කොට්ඨාශ වල, නව ආරවල් වලට විකසනය වෙනවා. 
රැප් සංගීතයත් ඒ වගේ එකක්. සුළු කාලයක් තුළ මහා හෑල්ලක් කියාගෙන කියාගෙන යනවා.

මේ යොහානිගෙ රැප් එක සමග තවත් පැතිකඩක් ගැන ඔබේ සිතිවිලි යොමු කරනවා.

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුණා නුඹ‍ෙ ආදර වදන මට සිහිවේ
මට සිහිවේ

ඔබ‍ෙ ගුණ කඳ මං ගයමි දැන්
මගෙ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ
ඔබ වන්දේ

තේරෙන් නෑ
මේක පටන් ගන්න තැන
මට මගේම හීනෙක තනිවෙන්නට වරම් නෑ
මේක ඇදන් යන්න, කමක් නෑ, මට විදිහක් නෑ මේක කියන්න
මේකයි මං ආස විදිහ නුඹ‍ෙ ගුණ වයන්න
මගේ ආදරේ තරම කියන්න, කියන්න, ඔබේ සවන් යොමන්න
ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න

එනකන් මඟ බලන් හිටියා අපි වරු ගණන්,
දින ගණන් ඔබ නැති මේසේ, කෑවත් නෑ, බඩ පිරුණෙ නෑ
ඔබ දකිනකන්, ගෙට වඩිනකන්
පියතුමනි අපිට පද හැදුවා, බේගල් තැනුවා
ඔබ ළඟ නැති හින්දා, අපි වින්දා, මව නින්දා වින්දා
මම ඒ දෙස බලලා රහසින් ඉකි බින්දා

කළුවර රෑ තනි කෙරුවට නුඹයි පිය රජිඳා
උතුරත් දකුණත් යා කළ බල සෙන් නිරිඳා
අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
වඳින්නෙ දෑත් මුදුන් කොට,
නුඹයි මගෙ විරුවා

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුණා නුඹ‍ෙ ආදර වදන මට සිහිවේ
මට සිහිවේ

ඔබ‍ෙ ගුණ කඳ මං ගයමි දැන්
මගෙ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ
ඔබ වන්දේ

තිබුණෙ නෑ, හරි ළමා කාලයක්
තිබුණෙම ගැහෙනා නිහඬ භාවයක්
රටින් රටට පිය මනින තාලයක්
එකට කෑවෙ නෑ සෑහෙන කාලයක්

පන්තියේ යාළුවෝ රවපු කාලයක්
එන්නෙපා පාසල් කියපු රාවයක්
ගොදුරක් වෙයි අපි උඹ නිසා
රැව් දෙයි ඒ වදන් කන් පුරවලා

වෙඩි නොවදින වවුනියාව
මතකද නංගිගෙ හුරතල් හිනාව
මට තාම මතකයි, ඔබ ගාව සුවඳයි
හැම රෑම හඬවයි
අම්මේ, තාත්තා කෝ

ඝණ කැලයක තනිවෙලා
නුඹ වදිනව යුධ, දිවි පසෙක ලා
ඒ බව මගෙ හිත දැනං හිටි නිසා
හැම දින නුඹ හට ආදරේ කළා

කළුවර රෑ තනි කෙරුවට නුඹයි පිය රජිඳා
උතුරත් දකුණත් යා කළ බල සෙන් නිරිඳා
අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
වඳින්නෙ දෑත් මුදුන් කොට,
නුඹයි මගෙ විරුවා

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුණා නුඹ‍ෙ ආදර වදන මට සිහිවේ
මට සිහිවේ

ඔබ‍ෙ ගුණ කඳ මං ගයමි දැන්
මගෙ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ
ඔබ වන්දේ


Lyricist - Chanuka Mora
Music - Chanuka Mora
Melody - Yohani, Harinie Weerasinghe , Chanuka Mora

No comments: