Wednesday, May 27, 2020

බත කා ඉවරයි


බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩ රට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාලේ

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්‌කට මොන බදු ද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්‌
ගෙවන්න වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පළනවනේ

ඇහළ මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායම් වී ජාතික ආලෙන්
කොස්‌ කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළොවේ කැති ගහලා

කන්දේ ගෙදර දුප්පත් නෑදැයින්
පෙරමුණකට රැස්‌ වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙළියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා
අමුණයි බයිනෙත්තුවේ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්‌
මාර සෙනඟ මැද යම යුද්දේ

කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස්බෙක් විසි වී වැටුණා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුණා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - පරාක්‍රම කොඩිතුවක්‌කු
සංගීත අදියුරු - ප්‍රේමසිරි කේමදාස (ජන සංගීත නාද රටා ඇසුරින්)
චිත්‍රපටය - පුරන්අප්පු (1978)



වීර පුරන් අප්පු චිත්‍රපටියේ එන මෙම ගීය, 1989 දී නිම් තෙරක් කැසට් පටයට ඇතුළත් වුණා. 2001 දී නැවත නෑසෙන ගී රස 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: