Friday, June 5, 2020

සුනාමි විපතින් බිඳ වැටුණු රට ගොඩනැංවීම දිරිමත් කිරීමේ ගීය



අපේ බත් පිඟාන මුහුද ඇවිත් අරං ගිහින්
අපි ඇන්ද ඇඳුම් මුහුද ඇවිත් අරං ගිහින්
අපේ පාඩම් පොත් මුහුද ඇවිත් අරං ගිහින්
නිදාගත් පැදුරත් මුහුද ඇවිත් අරං ගිහින්

අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න .....//

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න ....//
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩනඟන්න

දවස පුරා වෙරළ දිගේ බෝල ගහපු
රැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපු
යහළු යෙහෙළියන් සේරම අපට හිටපු
අරං ගිහිං මුහුදු වතුර ගොඩට ගලපු

ඉතුරු වෙලා ඉන්න අපට
ඕනෑමයි ඔබේ පිහිට ...//

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න ....//
එපා ජාති ආගම් කුල මල තකන්න
හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදන්න

දෙදහස් පන්සිය වසරක් නම තියාපු
පෙරදිග මුතු ඇටය කියා ගුණ වනාපු
මේ රට පෙර නර විරුවන් ගොඩනගාපු
බිඳින්න බැහැ මහ මුහුදට ගොඩ ගලාපු

අත දුන්නොත් නැගිට ගන්න
අපිත් එනව රට හදන්න .....//

ගායනය - ළමා ගායක වෘන්දය සමග සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් රට පත් නෙක ගැහැට දුරලා අනාගතය කෙලෙසින් ගොඩ නැඟිය යුතුද යන්න අලලා, ජාතික රූපවාහිනිය නිර්මාණය කළ මෙම ගීයට, ජර්මනියේ පැවති Prix Jeunesse  International 2006” සම්මාන උළෙලේදී No more Worries” , Prize of the Children's Jury සම්මානය හිමිවිය.

මේ ගීයේ වීඩියෝවක් මෙතනින් නරඹන්න

No comments: